9.30.2026

අහපං සුදු පුතා, මේව මගලගොඩේ කතා..


අහපං සුදු පුතා
මේවා මගලගොඩේ කතා
ගොසිප් සයිට් පුරා 
දුවන්නෙ මේ කතා.. 

සේතං මාමගෙ දෝණිව 
බඳින්න හිටියේ සිරිමල්.. 
දෝණිට දොල දුක හැදිලා 
සිරිමල් මැරුනා.. 

කොණ්ඩය හැඩපළු ගෙතිච්ච
මැගිලිං අක්කගෙ පුතාට
රොසලින් අක්කගෙ කොළුවා 
දෑවැදි දුන්නා..

පින් පෙට්ටිය කඩපු පවට 
සිවුරු ඇරපු සීලරතන
රොඩී වංසෙ වසී දැහැන
මැගීට බැන්දා..

හනුමන්තට වසීවෙලා 
ගෙදර ගෙනා පින පලදී
මැගී අක්කා හනුම එක්ක
දඹදිව වැඩියා..

ඇතුන්..


උඩුබුරන හඬ සොඬින් පියුම් ගත් ඇතුන්.
විදු කරන ලද හිස්කබල් උන්ගේ දලින්.
අද්දන්න බැරි සිහිනුවණ උන්ගේ මතින්.
මද කිපුන කල උන් සිටිනා තැන් මතින්.

පද්දන්න පද්දන්න ඇඟට දැනෙනා ඒ පදේ.
කුද්දන්න කුද්දන්න නිදා වැටෙනා ඒ රඟේ.
අද්දන්න අද්දන්න පසු බහින මේ සිරි යුගේ.
උස්සන්න උස්සන්න වැටෙන උන්ගේ බලේ.

රහත් උන් පෙරයි රහමෙර සුරා.
අන සකු ගම් යටව පිබිදෙන නුරා.
මොනරුන් මිදිව වෙහරෙන් ගෙවනා තුරා.
ඇදගෙන යයිද මුන් මෙත් එන තුරා.


නිශාන්තයේ..




සිසිබිඹු මරකත මිණි වැණි දිය මත බබළන නිසසල නිශාන්තයේ
සිසිබිඹු මරකත මිණි වැණි දිය මත බබළන නිසසල නිශාන්තයේ

අරුණළු දසුනට කුසුම් කැකුළු වැද මීහිලිය සැරසෙන නිශාන්තයේ
අරුණළු දසුනට කුසුම් කැකුළු වැද මීහිලිය සැරසෙන නිශාන්තයේ

තරු කැට නෙතු හැර ගගන තලා මැද නිහඬව සැනහෙන නිශාන්තයේ
තරු කැට නෙතු හැර ගගන තලා මැද නිහඬව සැනහෙන නිශාන්තයේ

පැහැදුල් මිණි පහනෙක දැල් නිවි නිවි අඳුරත වියැකෙන නිශාන්තයේ
පැහැදුල් මිණි පහනෙක දැල් නිවි නිවි අඳුරත වියැකෙන නිශාන්තයේ

මුල් පද - සඳුන් නාගහවත්ත
මුල් සංගීතය - නාලක දිසානායක
පස්සෙ අතින් දාපු සංගීතය සහ පද මගේ වේ යැ..

වියෝ වූ මලක්..


දාර වැස්සට මූණ තෙමුනම - කඳුලු කැට ටික සේදුනා

පීර බැලුවට සෙයිලමේ කොන - ලඟම අහුමුළු නොපෙනුනා

පාට දැක්කට දේදුන්න අග  - ඉරගින්නෙ රත බැබළුනා

රූපෙ දුටුවට නාරි ඇඳුමින් - ධවල ඔසරිය මතුවුනා..


ආල දෑසට රූප රාජිනි - දේහෙ අද මැද පරවෙලා

රෝස අතැඟිලි දිගටි අත්ලක - පීන පහලින් මැලවෙලා

කාරි නොදොඩන නාදළු මත - රක්ත සායම් තැවරිලා 

මීන නෙත්වල දෝස යන්නට - අඳුන් පැතිරව පියවිලා..


පිපුන පරවුන සිහින මල්ගොමු - දෙණ යහන මත වැතිරිලා

කේතු සෙනසුරු ගුරු මාරු දැක - සිකුරු පහනක දැල්විලා

පවට වැනසුන බඹර ගල උඩ - මලක පෙතිහැර පාවුනා

වෘක්ෂ නා මත වැතිර පැතිරුන - සඳුන් වැල අද මියැදිලා..

8.17.2023

ප්‍රසන්න මධුර සුඛං




තැබූ තැබූ තැන අවදිවු බර අවි
පිදූ පිදූ තැන පරවුන මල් පෙති       
පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන
ප්‍රසන්න මධුර සුඛං

බුරා බුරා නැගෙනා ඒ බොදුගිනි
වෙලා වෙලා දැවෙනා ඒ ගිනිකෙලි 
දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව
වණ්ණෝ සුඛං බලං

දෙසූ දෙසූ දම්සක් වී පැමිණිලි
පිසූ පිසූ දන්සල් වී ඇවටිලි
ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන
ගිලන පච්චං ඉමං සුඛං

8.16.2023

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ
සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ
අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ
සේපාලික මල අඳුරෙම                නැසුනේ

අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ
දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ
කරමත ඇවිලෙන මරගිනි              අතරේ
පොලවට නුසුලන තව බර          වැටුනේ

සිල්වත දිදුලන වැලිතල                 අතරේ
පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ
ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ
ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ


3.06.2023

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති,
හදන්න සල්ලිත් නැති,
නැතිවුනොත් කම්ප්ලේන් යන, 
කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන,
සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන,
මේ කාර් එකේ ඒසී එක. 

4.27.2018

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.




මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන. අනික් ආගම ගැන පුරෝකථනය කරන එක හරිම පහසුයි. ඒකෙ විරුද්ධ පැත්ත. සරලවම ප්‍රති-චිම්පන්සියුස්. 

සියල්ල ආරම්භ වෙන්නේ මැඩේෂියාව තුල අද්භූත වෛරසයක් පැතිරීමත් එක්ක. ඔව් ඔබ හරි, වෛරස කොහොමත් අද්භූතයි. රිටෙන්ෂියා නමින් හඳුන්වන මේ වෛරසය ආසාදනයෙන් මැඩේෂියාවන්ට මාස තුනක් ඇතුලත කිසිදු හානියක් සිදුවෙන්නේ නෑ. නමුත් දවස් 90 පහුවුන ගමන් හෘදය අකර්මණ්‍ය වීම ආරම්භ වෙලා මිනිත්තු 5 ඇතුලත මැඩේෂියානුවා මරණයට පත්වනවා.

වෛරසය පැතිරීම සිදුවන්නේ මුඛ තරල මාර්ගයෙන් කියලා අඳුරගන්න අවස්ථාව වනවිටත් මැඩේෂියාවේ මුළු ජනගහනයෙන් 1/5 ක ප්‍රමාණයක් වෛරසය නිසා මරුමුවට පත්වී තවත් ඒ හා ප්‍රමාණයක් ආසාදනය වී තිබුන බව නිල වාර්තා පෙන්වා දුන්නා. මෙයට පිලියමක් ලෙස ආසාදනයට ලක්වූ සියළු දෙනා රිටෙන්ෂියාව නම් වූ දූපතකට පිටුවහල් කෙරුනා. ඇත්තටම දූපතට ඒ නම යෙදුනේ පිටුවහල් කිරීම ආරම්භ වුනාට පසුව.

කතාව කොහොම වුනත් රිටෙන්ෂියා දූපතේ තත්වය එතරම් සුබදායක වුනේ නෑ. මාස තුනක ආයු කාලයක් ගෙවන මිනිසුන් තුල පවතින ඉච්ඡාභංගත්වය, ක්ෂණික කෝපය, විශාදය නිසා ඔවුන් බහුතරයකගේ ආයුකාලය මාස තුනක්වත් පැවතුනේ නෑ. මිනීමැරුම්, ලිංගික අතරවර වලින් ගහන වුන ඒ දූපත තුල කිසිම සොරකමක් සිදුවුනේ නෑ. එක අතකින් රිටෙන්ෂියාවන් හට සොරකම් කරන්න තරම් වත්කමක් ඇතැයි සිතන්නත් බෑ. කෙසේ වෙතත් රිටෙන්ෂියාව තුල නීතියක් පවත්වාගැනීමට රජයට උවමනාවක් නොතිබුනේ මාස තුනක ආයු වඩන මිනිසුන්ට නීතියකින් ඵලයක් නැතැයි ගැසට් පත්‍රයක් සම්මත වුන නිසා පමණක්ම කියා කියන්නටත් බෑ. සතියකට සැරයක් ගෙනවුත් දමන නව රිටෙන්ෂියාවන් හැරුණුකොට ආහාර සැපයීමක් පවා ඒ දූපතට සිදුවුනේ නෑ. ඒ හේතුව නිසා රිටෙන්ෂියාවන් තම මාස තුනක ආයු කාලයේ ආහාර සපයා ගත්තේ ජීවත් වුන හෝ මිය ගිය රිටෙන්ෂියාවන්ගෙන්.

චිම්පන්සියුස් වරුන් දේවත්වයෙන් සලකන සත්වයෙක් වන චිම්පන්සියන් ආහාරයට ගන්නා උග්‍ර ප්‍රති-චිම්පන්සියුස් නිකායක් වන අග්‍රා නිකායේ කිසිවෙක් රිටෙන්ෂියාවෙන් මිය නොගොස් ඇති බව සොයාගන්නේ මේ අතරතුරයි.

මතු සම්බන්ධයි හෝ නොවෙයි !!!!


4.28.2015

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට ආපු ඔතෑනි කම නිසාත් හුදකලාවට ඇතිවෙලා තිබුන ඇබ්බැහිය නිසාත් මම එච්චර උනන්දුවෙන් ඒ වැඩ වලට සහභාගී වුනේ නෑ. ඉඳලා හිටලා සහභාගී වුන සභාවක් වුනත් මට මහා කන්දොස්කිරියාවක් වගේ තේරුනේ මම ඒකට කැමැත්තෙන් නොගිය නිසා වෙන්න පුළුවන්.

ඔව්, පසුකාලීනව මම තරුණ සමිතියේ සභාවලට සහභාගී වුනා. ඒකට හේතුව අද වෙනකොට මතක නැත්තේ මම මේ කතාවේ ඒ පරිඡේදය ගැන ස්මරණය කරපු නැති නිසා වෙන්න පුළුවන් නැත්නම් ඒක කාලීනව සිද්දවුන දෙයක් නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් ඒකට හේතුවක් දෙනවානම් මට දෙන්න තියෙන්නේ රේවත හාමුදුරුවෝ නිසා කියලා කියන්න පුළුවන්.

රේවත හාමුදුරුවෝ කියන්නේ අමුතු චරිතයක්. වැඩිපුර කතා කරන්න කැමති රේවත හාමුදුරුවෝ තරුණ පිරිසට ඉගැන්වූයේ බෞද්ධ ඉගැන්වීම් කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒ තරුණ සංගමයේ දැන් ජීවත් වෙන සුමනසිරිගෙන් හරි ජිනදාසගෙන් හරි ඇහුවොත් රේවතයාගේ අම්මාට කියලා කියන තරමට ඒ ඉගැන්වීම් බරපතලයි. කොහොමවෙතත් එක්දාස් නමසිය අනුදෙකේ සුමනසිරිලා ජිනදාසලා හාමුදුරුවෝ කියන දේවල් උඩින්ම පිලි අරගෙන තිබුනේ.

දැන් රේවතයා වෙච්ච ඒකාලේ රේවත හාමුදුරුවෝ තරුණයින්ට කිව්වේ හරිම සරල දෙයක්. රේවත හාමුදුරුවෝ හැමවෙලේම වැඩ මූලික කරගෙන තිබුනේ, හාමුදුරුවෝ කියපු හැටියට බුද්ධ කියන්නේ විප්ලවවාදියෙක්, හාමුදුරුවොන්ගේ තිබුන මාක්ස්වාදී දැනුමත් එක්ක කලවම් කරපු බුද්ධ ධර්මය අමුතු සංකල්පීය වෙනසක් මට හැරුනුකොට අනික් තරුණ කොටසට එකතු කලා කිව්වොත් ඒක වැරදි නෑ. වැඩ මූලික කරගත්තු සමාජ පරිසරයක් නිර්මාණය කරන්න තරුණ මනස නිර්මාණය කරපු රේවතයා ගෞතම කියන විප්ලවවාදියා නැගී සිටියේ ඒ කාලේ ආර්ය කියන ඒකාධිපති පාලනයට විරුද්ධව කියලා දැඩිව විශ්වාස කලා සහ ඒ වෙනුවෙන් පෙනී සිටියා. රේවතගේ ඉගැන්වීම්වල මූලික හරය වුනේ සමානාත්මතාවය. ඒක ඒ කාලේ රාගල තරුණ පරපුරට උනක් වගේ බෝවුනා. කොටින්ම තරුණයෙක්ට ලඟට කතා කරලා කනට ගැහුවත් අතේ තියෙන මල්ල අරන් ගෙදර ගිහින් බස්සන ගානට තරුණයින් වෙනස් වුනා. මගේ ජීවිතයේ එච්චර වෙනසක් නොවුනේ මම වෙනස්වීමට වැඩිපුරු නැඹුරු නැති මනුස්සයෙක් නිසා හරි මට ආගම කියන එකේ එච්චර වැදගැම්මක් නොතිබුන මනුස්සයෙක් නිසා හරි වෙන්න පුළුවන්. කොටින්ම ගෞතම කවුරුවුනත් මට එච්චර වැදගත්කමක් තිබුනේ නෑ.

මේ ඔක්කොම වෙනස් වෙන්න ගියේ දවසක් දෙකක් විතර. ඒ උගේ අම්මගේ රේවතයා අළුතින් පත්වුන දෙමල විදුහල්පතිතුමාගේ දුවත් එක්ක පැනලා ගියාට පස්සේ... පස්සේ තරුණ සංගමය එදා රෑම විදුහල්පතිතුමාගේ ගේ ගිනිතිබ්බා... 

2.05.2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි.



පුරහඳ..
හැමදාම නැතිවුනත්.
හැමදාම තිබුනත්.
මට ඒ පුරහඳ මතක් වෙන්නේ
මාසෙකට සැරයයි..

පුරහඳේ..
හාවෝ හිටියත්..
හාවෝ නොහිටියත්..
මට ඒ පුරහඳ මතක්වෙන්නේ
මාසෙකට සැරයයි...


පුරහඳ..
ආවත් නොආවත්..
ඒ පුරහඳ තියෙනකම්..
මම නිර්වාණයේ දොරකඩ..
ඇතුල්වීම තහනම්.. 

8.04.2013

දිග කතාවකින් උපුටන දහයක්.


"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා."
....................................................................
"මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා."
....................................................................
සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා.
....................................................................
"ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයන එක පුදුමයක් වගේ පෙනුනට ඒක එහෙම නෑ. මහේෂ්ටත් ඒකෙන් වාසියක් නැතුව නෙමෙයිනේ. හරි ඔය ලක්ෂ හතර පහෙන් ගානක් මහේෂ්ගේ සාක්කුවට යන්නේ නෑ කියලද කියන්නේ?"
....................................................................
"මහේෂ්, සම්පත් අර ගෘප් එකේ එවුන් කියන සින්දුවලට නටනවා පිලිවෙල වැඩියි. උපන්දා ඉඳන් ඇස් පේන්නේ නැති පොරක් එහෙම නටන්න විදිහක් නෑනේ. අනික් ඒක පිලිවෙල වැඩියි. ඔය නටන සිස්ටම් එක ඔයිට වඩා හරිකිත විදිහට පෙන්නන්න වෙයි. එහෙම බැරිනම් නටන්න එපා කියන්න. "
....................................................................
"ඉතිං ඉතිං.. මචං කියපන්. උඹ මෙඩිසින් ගියා කියලා මට ආරංචි වුනා. ඊටපස්සේ මොකද වුනේ කියලා මම දන්නේ නෑ. "
"මචං මම දැන් අයි ස්පෙශලිස්ට් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ.
හොඳයි මචං මිනිහෙක්ට පෙනීම දෙන එක පින්සිද්ධ වෙන වැඩක්."
....................................................................
"එතකොට මචං උඹ කියන්නෙ මේක සනීප කරන්න පුළුවන් කියලද? එහෙනම් ඉතින් අපිට වැඩි කල් ගන්න දෙයක් නෑනේ. අපි වැඩේ ඉක්මනට කරමු."
....................................................................
"අයිසෙ මහේෂ් තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නේ ඇස් පේන සම්පත්ට කලින් වගේ මිනිස්සු කැමති වෙයි කියලාද? මම සම්පත්ගේ අම්මටයි තාත්තටයි කතා කරන්නම් ඔය වැඩේ අතෑරලා දානවා අයිසේ."
....................................................................
"දැන් තමුසෙට මොකද මේ සම්පත්ගේ අම්මාටයි තාත්තටයි නැති අමාරුවක්. මතක තියාගන්නවා මහේෂ් තමුසෙ තව මාස හයකින් බඳින්න ඉන්නේ. තමුසෙගෙ කෙල්ලට ඕනි විදිහට වෙඩින් ගන්න මේ වැඩේ කලොත් තමුසෙට හම්බවෙන්නෙ නෑ. මට නම් ප්‍රශ්නයක් නෑ. මට ඕනි තරම් මැනේජර්ස්ලත් ඉන්නවා ක්ලයන්ට්ලත් ඉන්නවා විකිනෙන්න බලාගෙන. තමුසෙ හිතනවා තමුසෙට මොකද වෙන්නේ කියලා. තමුසෙට මම පැයක් දෙන්නම් හොඳට කල්පනා කරලා බලලා තමුසෙගෙ තීරණය මට කියනවා. මතක ඇතුව පැයකින් මට කෝල් එකක් දෙනවා."
....................................................................
මම දුරකථනය අතට ගත්තෙමි.
........................................................

5.14.2013

ගබ්සාව..





සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීමා වුනේ අපි දෙන්නාට කතා කරන්න තරම් විශේෂ දෙයක් තිබුනේ නැති නිසා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ යාන්ත්‍රික සම්බන්ධතාවය එකපාර අනික් පැත්ත ගැහුනේ සුජ්ජා උගේ ප්‍රශ්නෙකට මට උත්තර හොයන්න කියලා කියපු වෙලාවේ.

"මචං පොඩි අවුලක් වුනා." 
සුජ්ජා කතාව පටන් ගත්තේ එහෙමයි.
"මොකද්ද?" 
කොහොමත් වැඩි අවුලක් වෙන්න බෑ කියලා ඌ කියපු විදිහෙන් පෙර නිගමනයක හිටපු මම එහෙම ඇහුවේ වැඩි උවමනාවකින් නෙමෙයි.
"සිගරට් එකක් බොමුද? උඹ දැන් වැඩකද ඉන්නේ?"
සිගරට් එකක් බොන්න කතා කරන සුජ්ජා සාමාන්‍ය වුවත් මම වැඩකද ඉන්නේ කියලා අහන සුජ්ජා නම් අසාමාන්‍ය නිසා මට වැඩේ ටිකක් බරපතලයි කියලා වැටහෙන්න පටන් ගත්තා.

"මචං ලතාට හිටලා"
සුජ්ජා දැල්ලට සිගරට් එක ලංවෙනකොටම එහෙම කියාගෙන කතාව පටන් ගත්තා. මට උගෙන් අහන්න පුළුවන් වුනේ එකම ප්‍රශ්නයයි.

"උඹට ෂුවර්ද?"
ඊට පස්සේ ඌ මොනවද කිව්වේ කින්ද මන්ද කියලා මට මතක නැත්තේ මට ඊට වඩා මතක හිටින දේවල් ඊට පස්සේ ගතවුන අවුරුදු හය හතට වුන නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් යන්තම් මමයි, බෝඩිමේ හිටපු අනිකයි, සුජ්ජයි එකතු වෙලා හොයලා හොයලා තැන් තුන හතරකට ගිහින් පනස්දාහක් විතර වියදම් කරලා වැඩේ සුද්ද කරලා දැම්මා. කවුරු කොහොම කිව්වත් කැම්පස් අවුට් වුන ගමන් සුජ්ජායි ලතායි පෝරු මස්තකාරූඩ වුනා. හැබැයි ලතාට අෂ්ඨක කියනකොට කලන්තේ දැම්මේ නම් නෑ. මම එතකොටත් එතන හිටියා, ඒ අප්පච්චිට අසනීප වෙන්න පැය බාගෙකට විතර කලින්.

අවසාන වතාවට පසු වතාවේ සුජ්ජා මට හමුවුනේ බාර් එකක. පුටුවලට සහ කම්මැලිකමට පින්සිද්ද වෙන්නට කිලෝ විස්සක් විතර බර වැඩිවී තිබුනා වුනත් සුජ්ජාව අඳුරගන්න මට අමාරු වුනේ නෑ. සරලවම කියනවානම් අවුරුදු හය හතක් ගිහිනුත් සුජ්ජාව මට මතක තිබුනා. සමහර විට තව අවුරුද්දකින් මට ඌව අමතක වෙන්නත් ඉඩ නොතිබුනා නෙමෙයි.

"මචං" 
මාව අවුරුදු අටක් හෝ නමයක් ආපස්සට රැගෙන යන්නට උගේ ඇමතීම හේතු වුනා කිව්වොත් ඒක නම් බොරුවක් නොවේ. ඇත්තටම ඒ ඇමතුම මට පහුගිය අවුරුදු අටේ කොච්චර වුවමනා වෙලා තිබුනාද කියන එක මට ඌ ආපහු හම්බවෙනකම් හිතිලා තිබුනේ නෑ. අන්තිමට අපි ගෙදර යනකොට ජීවිතේ ගැන විකල්ප ගැන දේශපාලනය ගැන පවුල් ජීවිත ගැන සෑහෙන දේවල් කතා කරලා තිබුනා. අපි යන්න ගියා.

"මචං" 
ඔව්, මම සුජ්ජාට මගේ දුරකථන අංකය දීලා තිබුනා.
"අපි හම්බවෙමුද?" 
ඔව්, මම ඌව මට වැඩ නැතිවෙලාවක හවසක හම්බවෙන්න ගියා.

"උඹලා දොස්තර කෙනෙක්වත්  හම්බ වුනේ නැද්ද?" 
මට වෙන අහන්න දෙයක් තිබුනේ නෑ. ඌ දොස්තරට මොනා කියන්න ඇතිද කියලා මට හිතාගන්න බැරිවුනා.

"එකෙක් නෙමෙයි බං පස් දෙනෙක් හම්බවුනා." 
සුජ්ජා සිටින්නේ දුකෙන් යැයි කියා සිතුනත් උගේ මුහුනෙන් දුකක් හෝ සතුටත් නොපෙනේ. මම ඉන්පසු උගේ හැඟීම් තේරුම්ගන්නට ගියේ නැත.
"ඉතිං" 
සුජ්ජා මගේ ගැටළුවට උත්තරයක් නොදී මට ෆයිල් එකක් දික්කලා.
"ඕක බලපන්, බලලා උඹට එන පලවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒකට උත්තරේ උඹට හිතාගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නෙට උත්තරයක් මම ලඟ නෑ"
මම ෆයිල් එක පෙරලා බැලුවේ එයින්වත් මගේ ඊට මොහොතකට කලින් ඇතිවුන වැරදිකාර හැඟීම නැතිකරගන්න පුළුවන් වෙයි යැයි සිතමින්. නමුත් ඒ ෆයිල් එක ඇතුලේ තිබුනේ එච්චර සංකීර්ණ දෙයක් කියලා මට ඒක අතට ගන්නකොට හිතුනේ නෑ

"මොකක්... උඹට තාත්තා කෙනෙක් වෙන්න බෑ? ඒ මොන කුණුහරුපයක්ද?"
"මචං ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා." 
ලතා ගෙදර තනියම මම යනවා. මතක තියාගනින් ලතා තාම ඕක දන්නේ නෑ. උඹත් ඕක දන්නෙ නෑ.
සුජ්ජා ගියේය. මම තාමත් ඒ ගැන කල්පනා කරමි. සුජ්ජා ඒ ගැන කල්පනා කරයිද නැද්ද යන්න මම නොදනිමි.. 

1.01.2013

වයිරා.




මම වයිරා.
කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්.

මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා.

හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්.

රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ.

මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්දේ ඉවරයි.

කොහොමත් මට මැරෙන්න තිබුනේ මීට ඉස්සර.. මේ උත්පත්තිය දුකක්. කොහොමත් මට හිතුනා ජීවිතේ ඇති කියලා. හැබැයි මට මැරෙන්න හේතුව රත්තිවත් හඳයාවත් නෙමෙයි. මමමයි.

සාමාන්‍යෙයන් මිනිස්සුන්ගේ කතාවල හරක් මස් කඩේ අයිතිකාරයායි පොලීකාරයයි දෙන්නම තම්බි. ඒත් මම කොහෙන්හරි කැරකිලා ආපු මස් කඩේ අයිතිකාරයා සිංහල එකෙක්. මට නම් ඔය කෝකත් එකයි. මගේ ප්‍රාර්ථනාව ක්ෂණික මරණයක්. ඒකට වර්තමානයේ තියෙන හොඳම තැනට තමා මම ආවේ.

ජනවාරි පලවෙනිදා කියලා අපිටනම් ඉතින් වැඩි වෙනසක් නෑ. කොහා නැත්නම් ඔය මිනිස්සුන්ගේ අවුරුදු දෙකේ වෙනසක් හොයාගන්නත් බැරිතරම්. කොහොමත් මිනිස්සු වැඩිපුර අතට අත දෙන්නෙයි අනික් එවුන් බදාගන්නෙයි ඔය දවස් දෙකේ විතරයි. බලන බලන එකා අත බදාගත්තු ගමන්.

පිරිත් කියනකොට මට හිතුනේ මාව මරන්න යනවා කියලා. ඒත් ජනවාරි පලවෙනිදා මාව නිදහස් කරලා! මගේ නිදහස් මරණයෙන් මාව ගලවාගෙන! ගවයෙකුට මිනිස්සු අභය දානය දීලා. අළුත් අවුරුද්ද දවසේ පුන්‍ය කර්මයක් කරලා. මම හාමුදුරුවෝ ලඟ දනෙන් වැටුනේ මාව නිදහස් කරන්න එපා කියලා කියන්න. කොහොමහරි දායක සභාවෙන් මාව ආයෙත් ගලගාව වෙල්යායට නිදහස් කලා.

ඈත රත්ති ඒකිගේ ලස්සන දික් හොම්බෙන් හඳයාගේ බඩ පිරිමදිනවා. ටික වෙලාවකින් වෙන දේ මට හිතාගන්න පුළුවන් නිසා මම උන් දෙන්නා පැත්තට පස්ස හැරෙව්වා.
ෂික් මට මේ මිනිස්සුන්ගේ භාෂාවලින් එකක්වත් පුළුවන් වුනානම්......
අන්තිමට මම ආයි රත්තියි හඳයයි දිහාට බෙල්ල හැරෙව්වා.

10.31.2012

එහිතට ඇමතුවෙමි.


නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර..

පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ.

එකවර සියල්ල නිල් පැහැ වේ.

නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් නටනු පෙනේ කඩදාසියෙන් ඔටුවෙකු සැදී ජෙනිෆර් ලෝපේස් ඔටුවා පිට නැග යයි. මට ඔටුවා සෑදුන ආකාරය නැවත බැලීමට උවමනා විය. සරලය රිවයින් කලයුතුය. රිවයින් කිරීමට රිමෝට් එක සෙවීම හෝ ප්ලේයරය ලඟට යා යුතුය. මම නැගිටීමට උත්සාහ කලෙමි. මොලයට නැගිටීමට අවශ්‍ය වුවත් කකුල්වලට ඒ සඳහා වුවමනාවක් නැත. මම අන්තිම උගුරට පසු උගුර ඇදීමට සූදානම්ය.

තිලාපියා තාමත් ෆිල්ටර් එක ලඟට කට කිට්ටු කර නැත. අවසාන පැකට්ටුව තාමත් ඔතා අවසන් කලේ නැත.
නිල් කඩදාසියක් ? ඔව් එය නිල් කඩදාසියකි. එය මාන දෙක තුනක් ගනකම වැඩි A4 කොලයකි. තිලාපියා ලඟ තිබූ නිල්පාට කූරේ රතුපාට කෙලවර දීප්තිය වැඩිවනු පෙනේ.

ලයිටරයෙන් මාත් නිල් කූර දල්වාගතිමි. තව තප්පරයකින් මම මගේ පෙනහළු කෙලවරට ඒ කාබන් පිරුනු කැනබීස් අංශු ගමන් කිරීමට නියමිතය.
තිබහක් දැනේජ. නැගිට යාමට තියා ඇඟිල්ලක් සෙලවීමටද කම්මැලිය. හුස්ම ගැනීමත් වෙහෙසකර වැඩකි. මම නාසයෙන් පිටවෙන හුස්ම වදින තැන් මාක් කිරීමට උත්සාහ කලෙමි.

නාස් කුහරයේ ඇතුලතට එක් වරක් වරක් සුලං පොදක් වදී ඊළඟ එක වදින්නේ නාසයේ අග්‍රයටය.
ඇත්තටම මම කවුද? මම මට කතා කිරීමට උත්සාහ කලෙමි. ඈත රැහැයියෙක් කෑගසයි. බස්සෙක්ගේ ඉක්කා සද්දය වගේ එකක් තවත් කොහෙන්දෝ ඇසේ. ඒ අස්සේ ජෙනිෆර් ලෝපේස් බෙරිහන් දෙයි.

ටික වෙලාවකින් නිල් කඩදාසියේ එතූ දෙවනි කූර මගේ අතින් පත්තු වේ. එතුවේ කවුදැයි මට අමතකය. එය අනික් එවුන්ගෙන් අහලා වැඩක් නැත.
මේ කූර අවසන් වනතුරු මම ඒ හිත සොයමි. මගේ අනිකාගේ හිත සොයමි. මගේ ස්ප්ලිට් පර්සනැලිටිය සොයමි. දැන්නම් ජෙනිෆර් ලෝපේස් වදයක් වී ඇත. මම කපුගේ තැටිය ප්ලේයරයට දමා ටීවී එක සහ ලයිට් එක නිමා ඉටිපන්දම පත්තු කල යුතුව ඇත.

එතෙක් අවසරයි....


10.25.2012

සෝමදාස..



වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි.

"මහත්තයා."
හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව පුරුවාටය.

"අංකල් කවුද"
පුරුවා බුවාව අඳුනාගෙන නැති සෙයකි. මම නම් දැක්කේත් අදය.

"මම සෝමදාස.. ඇයි මහත්තයා එදා මට ගෙදර යන්න සල්ලි දුන්නේ. මම හිතුවා මහත්තයාව බොරලැස්ගමුවේ හන්දියේදී හම්බවෙන්න පුළුවන් වෙයි කියලා. හොඳ වෙලාවට පැයක් වත් බලන් ඉන්න වුනේ නෑ. මම ආවේ මහත්තයාගේ සල්ලි දීලා යන්න"

සෝමදාස පුරුවාගේ අතේ රුපියල් 600 තබා නික්ම ගියේය. වුන දෙයක් හිතාගන්න බැරුව අගමුල මාරුවී සිටි මට මුළු කතාව පුරුවාගෙන් නොඅසා සිටිය නොහැකි විය. මට ඒ කතාව නොලියා සිටිය නොහැකි විය.

.........................................................................................................................................................

වෙලාව රාත්‍රී 11.30ට වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
සාමාන්‍යෙයන් පුරුවා වැඩ ඉවර වී බොරලැස්ගමුවට එනවිට රෑ හත වුනත් එදා ෂටලයෙන් බහිනකොට රෑ එකොලහමාර විතර වෙලාලු. කියන හැටියට බුවාට ඒ අංකල් හම්බවෙලා තියෙන්නේ කහඉර ලඟට ඇවිදගෙන එන අතරේ. ඔව් ඌ කහඉරෙන් පාර පනින එකෙක්.

"ඒ අංකල් මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ බං. මගෙන් ඇහුවේ මාලඹේට යන පාර"
"ඉතිං බං ඒ වෙලාවට බස් නෑනේ මම කිව්වා බස් නෑ ත්‍රී විල් එකකවත් යන්න කියලා. මචං කිව්වට විස්වාස කරපං ඒ අංකල් දෙහිවල ඉඳන් පයින් ඇවිල්ලා තියෙන්නේ."

"මම කිව්වා මාලඹේට ත්‍රී විල් එකක යන්න නම් රුපියල් 500 ක් විතර යයි පයින් යන්න නම් දුර වැඩියි කියලා"

"අංකල් කියනවා රුපියල් 500 තියෙනවානම් ගෙදර යනවා කියලා. අංකල්ගෙ ගෙවල් දැරණියගල. මාලඹේ තියෙන්නේ පොරගෙ අඳුනන තැනක්. දැරණියගලට යන්න රුපියල් 500 යන්නේ නෑ තමා ඒත් මම ඕනි කෙහෙල්මලක් කියලා රුපියල් 500 කුයි මාරු සල්ලි 50කුයි දුන්නා බං."

"අංකල් වැඩ කරලා තියෙන්නේ මුරකාරයෙක් විදිහට, මට කොම්පැනියේ නම කිව්වේ නෑ. කොම්පැනියට හොරු පැනලා හොරු අහුවෙනකම් අංකල්ව පොලීසියේ තියාගෙන හොරු අහුවුනාම එදා රෑ ගෙදර එවලා."

"මටත් දැන් සැනසීමයි බං, අංකල් හොරෙක් නෙමෙයි කියලා මට ෂුවර්නේ.. ඇත්තම කියන්න මමත් හිත හිත හිටියේ මම හොරෙක්ට රුපියල් 500 දුන්නා එහෙමනම් අපරාදේ කියලා"

කතාවේ සංක්ෂිප්තය එසේ අවසන් වේ. පුරුවා හමුවුනේ නැත්නම් සෝමදාස අංකල් මාලඹේට පයින් යාම පටන් ගනු ඇත. ඒ අතර තවත් පුරුවෙක් හමුවිය හැක. නැත්නම් අංකල් මාලඹේට පයින් යනු ඇත. මට මේ කතාව ලියන්නට ඉඩක් නොලැබෙනු ඇත.


8.27.2012

ජයසේන..

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. "
මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..

     *****************************************************************

නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්‍යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා.

ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන.

ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි දෙන්නයි ඇරෙන්න ඉස්පිරිතාලෙට මුරකාරයෙක් වත් හිටියේ නෑ. ඒක නිසා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්, පිරිමි වාට්ටුවේ නර්ස්, මිනී කපන එකා, කියන පට්ටම් තුන ඇරුනාම ජයසේනට මුරසේවයත් පැවරිලා තිබුනා. උණක්, කපාගැනිල්ලක්, අතපය කැඩිල්ලක්, මැලේරියාවක්, සර්පයෙක් ගැහිල්ලක් ඇරුනාම වෙනත් ලෙඩෙක් ආවේ කලාතුරකින්. සතියකින් මොන ලෙඩේ වුනත් හොඳ වුනේ නැත්නම් ජයසේන එක්ක රත්නපුරේ යවනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් තිබුනේ නෑ.

ජයසේන අඩි හයයි අඟල් බාගයක් උස වෙච්ච මටත් වඩා අඟල් දෙකක් විතර උස වුනත් ජයසේනට මට තරම් බඩක් තිබුනේ නෑ. සවුදම් ජෙමා වගේ බත්හැලි හතරක් පහක් වුනත් ගිලලා දාන්න පුළුවන් කියලා කියන ජයසේන සමහර දවස්වල ඇම්බියුලන්ස් එකේ පැත්තක් උස්සලා අපේ නරස් නෝනලා වුන උපේක්ෂාටයි, ස්වරණාටයි පෙන්නන්නේ මම තමා දුටුගැමුණු රජ්ජුරුවොන්ගේ ජයසේන කියලා ආඩම්බරේකුත් මූනෙන් පෙන්නන ගමන්.
"දහපාරක්ද විසිපාරක්ද කොහෙද ලේ දුන්න හින්දා තමා ඕකා ඔය යෝධයා වගේ වෙලා ඉන්නේ. ඒ පිනට තමා ඔච්චර සක්තියක් තියෙන්නේ"
 ඇටන්ඩන්ඩ් රාජපක්ෂ කිව්වේ මම දොස්තර කෙනෙක් කියලා අමතක වෙලාද කොහෙද.
"ඒ වුනාට ඕකාට කිසිම අණක් ගුණක් නෑ සර්.. එකම නංගිව පොලඟෙක් ගහලා මීට අවුරුද්දකට කලින් මැරුණ වෙලාවේ ඒකිගේ මිනිය කැපුවෙත් ඔය අසමජ්ජාතියා තමා. දැනටත් ගමේ උන් නැතිතැන බනිනවා ඕක කියලා. හැමදාම රෑට නිදාගන්න කලින් කසිප්පු හරි ගල් හරි බාගයක් ගහනවා. නංගිගෙ මිනිය කපන්න කලිනුත් බීලා හිටියේ කියලා රමණි නෝනා කිව්වා මම අහගෙන. මූට ඒ වැඩේ නොකර ඉන්න තිබුනේ සර්."

"ඇයි මොකද්ද ඒකෙ වැරැද්ද"
හරි වැරැද්දක් හිතාගන්න බැරිවුනත් ඒක නොකලයුතු වැඩක් කියලා මගේ හිතටත් වැටහෙමින් තිබුනා.

එදා ඉඳන් අද මේ පෝස්ට් මෝටම් එක ඉවරවෙනකම් මම ජයසේන එක්ක තනියම කතාකරන්න වෙලාවක් හදාගන්න උත්සාහ ගත්තා.
"ජයසේනගේ නංගි නැතිවුනේ ලඟදිලු නේද?"
මම කතාවට මුලක් හොයන්න පටන් ගත්තා.
"ගමේ එවුන් ඒ කතාව සර්ගෙත් කනේ තිබ්බා නේද? ඉතිං සර් මම නංගිව පණපිටින් කැපුවේ නෑනේ. අනික මේ ගමේ එකෙක්වත්.. අඩුමගානේ නුවන් මහත්තයාවත් ඒ මිනිය කපන්නේ නෑනේ සර්.. ඉතිං මම කලේ වැරැද්දක්ද?"
ජයසේන කතාකලේ ආවේගයකින් නොවේ. නමුත් යම් ආවේගයක් ඒ වචනවල ඇතැයි මට සිතේ. එවෙලේම බුලත් කෙල පාරක් මිදුලට ගහපු ජයසේන
"මම ටිකක් නිදාගන්න යනවා සර්, කොහේහරි යන්න තියෙනවානම් දොරට තට්ටුවක් දාන්න."
මටත් හවස් වරුවේ විශේෂ වැඩක් නොතිබුන නිසා ප්ලේන්ටියක් බොන්න හිතාගෙන කඩේ පැත්තට ඇවිදගෙන ගියා. ඒක අහපු එක හරිද වැරදිද කියන එක හිත ඇතුලේ දෝලනය වෙච්ච නිසා මම නුවන් අයියවත් කඩේට ගෙන්නාගත්තා.
"උඹයි මේ ගමේ එවුනුයි ඒ මිනිය තියාගෙන තාම කප කප හිටියට ජයසේන එදායින් ඒ මිනිය කපලා ඉවර කරන්න ඇති." 
මට නුවන් අයියාගෙන් ලැබුන පිලිතුර එපමණකට සීමා විය.

පහුවදාත් මම උදේ වැඩට යනකොට ජයසේන උපේක්ෂාට ඇමිබියුලන්ස් එක උස්සලා පෙන්නනවා මම බලාගෙන හිටියේ..
"මේ ඇම්බියුලන්ස් එක මට බරක් නෑ මිසී."
මට ජයසේන කියපු කතාව ඈතට ඇහුනා.

8.03.2012

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ආච්චි මතක් කරන නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා තවමත් මට නිච්චයක් නැත. කෙසේ වෙතත් අපි එකල ඩිංගිරි ආච්චිට බයවීමු.

ගඳපාන ගාලවලින් පිරුනු විදාන වත්තේ ඩිංගිරි ආච්චිගේ වරිච්චි ගෙදර තිබුන ඉඩ ප්‍රමාණය පමණක් එලි කර තිබුනි. පහල කුඹුරු යායත් විදානවත්තත් බෙදාවෙන්කරන ඇල්බීසියා වැටේ සාදාගත් සිදුරකින් ගඳපාන ගස්වලින් පාදාගත් ගඳපාන ගුහාවලින් ඩිංගිරි ආච්චිගේ මන්තරකාර වැඩගැන ඔත්තුබැලීම පාසල් ඇරී ගෙදර ආවාට පසු අපගේ මූලික කාලසටහනට ඇතුලත්ව තිබුන ක්‍රියාවලියකි. 

විටක ඩිංගිරි ආච්චි කළුපාට මුට්ටියකට හාල් දමා ලිපේ තබයි. පසුව ලිප ලඟ ඇණ තබාගෙන මොනවදෝ ගින්දර වලට මතුරයි. 
" ඹය බත්වලට මතුරන්නේ අපිව මරන්න. ඔය බත් කෑවම කටින් ලේ දාගෙන මැරිලා වැටෙනවා. " 
නුවන්ගේ ඒ කතාව දැන් මතක්වනවිට සිනහ නැගුනත් එවෙලේනම් මම බයවුනා මට තාමත් මතකය. 

ඩිංගිරි ආච්චිගේ ගේ ඉදිරිපස තිබූ පිණිජම්බු ගසේ ගෙඩි කැඩිය යුත්තේ හවස පහත් හයත් අතර ඩිංගිරි ආච්චි විදාන වත්තෙන් පිටවූ වෙලාවක පමණි. වෙනත් වෙලාවක ජම්බු කෑම පිණිජම්බු ගසේ සිටින බහිරවයා නුවනයාගෙත් මගෙත් බොටුව කඩාගෙන ලේ බීමට හේතුවක් වනු නිසැකය. 

මේ මට මේ වෙලාවේ මතකයට නගා ගත හැකි සිද්ධි දෙකකි. මීට වඩා අනන්තවත් දේවල් විදානවත්ත තුල සිදුවුනත් මට ඒවා දැන් මතකයට නගාගත නොහැක්කේ මම ඒවා අමතක කර ඇති නිසාද නැත්නම් මට ඒවා මතක තියාගැනීමට වුවමනාවක් නොවූ නිසාදැයි මම නොදනිමි. 

කෙසේ වෙතත් පහවසර ශිෂ්‍යත්ව විභාගයට සමත් වීම නිසා ඩිංගිරි ආච්චිගේ වැඩ ගැන සෙවීමට පත්කල ඔත්තුකරුවන් දෙදෙනා රොබින්හුඩ්ට අහිමිවිය. 

මම නිවාඩුවට ගෙදර එනවිට විදානවත්ත එතන තිබුනේ නැත.

................................................................................................................................................................. 

පෝය දවසේ රෙදි ටික හෝදා දමා හෙඩ්ෆෝන් එකත් එක්ක දුමක් දමාගෙන දුමේ හැංගිලා හෙඩිෆෝන් එකේ වයර් දිගේ මගේ කන් දෙකට ආපු පහල සින්දුවත් එක්ක මම ආයි ඩිංගිරි ආච්චිගේ මතකය එක්ක සෙල්ලම් කරන්න ගත්තා. ඒක ඉවර වුනේ මේ පෝස්ට් එකත් එක්ක. 



බැලූ සැමට ස්තූතියි.. 

7.24.2012

මාර්කෝ මම ඈන්..

මාර්කෝ උඹ කොහෙද? 
පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන 
මම උඹ එනකම් බලා ඉන්නවා. 
ජීවිතේ අතරමැද 
තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. 
මාර්කෝ කෝ උඹ. 
හැමදාම රෑට
වෙන පංචස්කන්ධයක තියෙන 
උඹේ හිතත් එක්ක
මම නිදි වදිනකොට
උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? 
මාර්කෝ.. 
දිස්නේ නැතිවෙන්න කලින්
මේ පිත්තල බොත්තම අරන් පලයන්.. 

මම 
ඈන්.. 

12.26.2011

විසබීජ..


"hope you will come back"
මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි.

෴෴෴෴෴෴෴෴෴

දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි.

විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.

෴෴෴෴෴෴෴෴෴

වතුර ටැංකියෙන් වැටෙන සීතල වතුර මගේ ශිර්ෂයෙන් පටන්ගෙන පාදයෙන් අවසන් වන සර්වාංගය දිගේ ඇති විසබීජ සමග මිශ්‍රවී වල වෙත ගලායයි. මෙය මෙතැනින් අවසාන කලයුතුව ඇත. මම දින හතරකට පසු ඇය සිහිවිය.
පිටතට එනවිට විජිතා ජනේලය දෙස බලාගෙන ඇයගේ බ්ලවුසයේ බොත්තම් දමයි.
"Its ok."
ඇය මාදෙස බලා සිනාවූවාය. ඇගේ ඉදිරිපස දත් දෙක අතර ඇති සිදුරෙන් මම ඇයගේ හදවතට එබීමට උත්සාහ කලෙමි. දෙවරක් තුන් වරක් උත්සාහ කල මම එය අතහැර දැමීමි.
       මේසය උඩ වාර්තාව සූදානම්ව ඇත. එහි පිටු අතරද විසබීජ රැඳී තිබීමට ඉඩ ඇත. නමුත් දැන් ඒවා පිරිසිදු කිරීමට ප්‍රමාද වැඩිය. මම ඉක්මනින් පිටත් විය යුතුය.

෴෴෴෴෴෴෴෴෴

තල් හකුරු සහ කොට්ට කිලංගු පාර්සලය මම ඇයගේ අතට දුනිමි..
"කෝ කෙල්ල නිදිද?"
"ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ සතියක් අපිව අමතක කලා කියලා"
ඇය සිනහ වේ. ඒ සිනහවද සුන්දරය. ඇගේ දත් අතර ඇති සිදුරෙන් හදවතට එබී බැලීමට මම කල උත්සාහය නැවතත් අසාර්ථක විය.
       මම මද සිනාවක් පා පොඩි එකී දැකීමටවත් පමා නොවී නාන කාමරය දෙසට ගමන් කලෙමි. ඉක්මනින් විසබීජ සියල්ල සෝදා හැරිය යුතුය. තවත් විසබීජ ඉතිරිව තිබුනහොත් පොඩි එකී ලෙඩවීමට ඉඩ ඇත.

11.25.2011

සැරද?

තුලාධර ගැහැණියගේ
කාලවර්ණ රෙදිපට
අහිමිකල..
සුද්දන්ගේ කෙලිය 
සුද්දන්ට වෙන්දේසිකල.. 
පැතිරවූ මුසාවට 
සම්මාන හිමිකල..
ත්‍රස්තයන් සමග නිදිවැද
මැක්කන් යවෙස් ලූ..
අපි.. 
සුරා සූදුවෙන් තොර 
ආශ්චර්යයක් කරා 
පියනගයි.. 
සැරද?