Showing posts with label මනුස්සකම්. Show all posts
Showing posts with label මනුස්සකම්. Show all posts

8.04.2013

දිග කතාවකින් උපුටන දහයක්.


"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා."
....................................................................
"මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා."
....................................................................
සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා.
....................................................................
"ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයන එක පුදුමයක් වගේ පෙනුනට ඒක එහෙම නෑ. මහේෂ්ටත් ඒකෙන් වාසියක් නැතුව නෙමෙයිනේ. හරි ඔය ලක්ෂ හතර පහෙන් ගානක් මහේෂ්ගේ සාක්කුවට යන්නේ නෑ කියලද කියන්නේ?"
....................................................................
"මහේෂ්, සම්පත් අර ගෘප් එකේ එවුන් කියන සින්දුවලට නටනවා පිලිවෙල වැඩියි. උපන්දා ඉඳන් ඇස් පේන්නේ නැති පොරක් එහෙම නටන්න විදිහක් නෑනේ. අනික් ඒක පිලිවෙල වැඩියි. ඔය නටන සිස්ටම් එක ඔයිට වඩා හරිකිත විදිහට පෙන්නන්න වෙයි. එහෙම බැරිනම් නටන්න එපා කියන්න. "
....................................................................
"ඉතිං ඉතිං.. මචං කියපන්. උඹ මෙඩිසින් ගියා කියලා මට ආරංචි වුනා. ඊටපස්සේ මොකද වුනේ කියලා මම දන්නේ නෑ. "
"මචං මම දැන් අයි ස්පෙශලිස්ට් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ.
හොඳයි මචං මිනිහෙක්ට පෙනීම දෙන එක පින්සිද්ධ වෙන වැඩක්."
....................................................................
"එතකොට මචං උඹ කියන්නෙ මේක සනීප කරන්න පුළුවන් කියලද? එහෙනම් ඉතින් අපිට වැඩි කල් ගන්න දෙයක් නෑනේ. අපි වැඩේ ඉක්මනට කරමු."
....................................................................
"අයිසෙ මහේෂ් තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නේ ඇස් පේන සම්පත්ට කලින් වගේ මිනිස්සු කැමති වෙයි කියලාද? මම සම්පත්ගේ අම්මටයි තාත්තටයි කතා කරන්නම් ඔය වැඩේ අතෑරලා දානවා අයිසේ."
....................................................................
"දැන් තමුසෙට මොකද මේ සම්පත්ගේ අම්මාටයි තාත්තටයි නැති අමාරුවක්. මතක තියාගන්නවා මහේෂ් තමුසෙ තව මාස හයකින් බඳින්න ඉන්නේ. තමුසෙගෙ කෙල්ලට ඕනි විදිහට වෙඩින් ගන්න මේ වැඩේ කලොත් තමුසෙට හම්බවෙන්නෙ නෑ. මට නම් ප්‍රශ්නයක් නෑ. මට ඕනි තරම් මැනේජර්ස්ලත් ඉන්නවා ක්ලයන්ට්ලත් ඉන්නවා විකිනෙන්න බලාගෙන. තමුසෙ හිතනවා තමුසෙට මොකද වෙන්නේ කියලා. තමුසෙට මම පැයක් දෙන්නම් හොඳට කල්පනා කරලා බලලා තමුසෙගෙ තීරණය මට කියනවා. මතක ඇතුව පැයකින් මට කෝල් එකක් දෙනවා."
....................................................................
මම දුරකථනය අතට ගත්තෙමි.
........................................................

5.14.2013

ගබ්සාව..





සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීමා වුනේ අපි දෙන්නාට කතා කරන්න තරම් විශේෂ දෙයක් තිබුනේ නැති නිසා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ යාන්ත්‍රික සම්බන්ධතාවය එකපාර අනික් පැත්ත ගැහුනේ සුජ්ජා උගේ ප්‍රශ්නෙකට මට උත්තර හොයන්න කියලා කියපු වෙලාවේ.

"මචං පොඩි අවුලක් වුනා." 
සුජ්ජා කතාව පටන් ගත්තේ එහෙමයි.
"මොකද්ද?" 
කොහොමත් වැඩි අවුලක් වෙන්න බෑ කියලා ඌ කියපු විදිහෙන් පෙර නිගමනයක හිටපු මම එහෙම ඇහුවේ වැඩි උවමනාවකින් නෙමෙයි.
"සිගරට් එකක් බොමුද? උඹ දැන් වැඩකද ඉන්නේ?"
සිගරට් එකක් බොන්න කතා කරන සුජ්ජා සාමාන්‍ය වුවත් මම වැඩකද ඉන්නේ කියලා අහන සුජ්ජා නම් අසාමාන්‍ය නිසා මට වැඩේ ටිකක් බරපතලයි කියලා වැටහෙන්න පටන් ගත්තා.

"මචං ලතාට හිටලා"
සුජ්ජා දැල්ලට සිගරට් එක ලංවෙනකොටම එහෙම කියාගෙන කතාව පටන් ගත්තා. මට උගෙන් අහන්න පුළුවන් වුනේ එකම ප්‍රශ්නයයි.

"උඹට ෂුවර්ද?"
ඊට පස්සේ ඌ මොනවද කිව්වේ කින්ද මන්ද කියලා මට මතක නැත්තේ මට ඊට වඩා මතක හිටින දේවල් ඊට පස්සේ ගතවුන අවුරුදු හය හතට වුන නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් යන්තම් මමයි, බෝඩිමේ හිටපු අනිකයි, සුජ්ජයි එකතු වෙලා හොයලා හොයලා තැන් තුන හතරකට ගිහින් පනස්දාහක් විතර වියදම් කරලා වැඩේ සුද්ද කරලා දැම්මා. කවුරු කොහොම කිව්වත් කැම්පස් අවුට් වුන ගමන් සුජ්ජායි ලතායි පෝරු මස්තකාරූඩ වුනා. හැබැයි ලතාට අෂ්ඨක කියනකොට කලන්තේ දැම්මේ නම් නෑ. මම එතකොටත් එතන හිටියා, ඒ අප්පච්චිට අසනීප වෙන්න පැය බාගෙකට විතර කලින්.

අවසාන වතාවට පසු වතාවේ සුජ්ජා මට හමුවුනේ බාර් එකක. පුටුවලට සහ කම්මැලිකමට පින්සිද්ද වෙන්නට කිලෝ විස්සක් විතර බර වැඩිවී තිබුනා වුනත් සුජ්ජාව අඳුරගන්න මට අමාරු වුනේ නෑ. සරලවම කියනවානම් අවුරුදු හය හතක් ගිහිනුත් සුජ්ජාව මට මතක තිබුනා. සමහර විට තව අවුරුද්දකින් මට ඌව අමතක වෙන්නත් ඉඩ නොතිබුනා නෙමෙයි.

"මචං" 
මාව අවුරුදු අටක් හෝ නමයක් ආපස්සට රැගෙන යන්නට උගේ ඇමතීම හේතු වුනා කිව්වොත් ඒක නම් බොරුවක් නොවේ. ඇත්තටම ඒ ඇමතුම මට පහුගිය අවුරුදු අටේ කොච්චර වුවමනා වෙලා තිබුනාද කියන එක මට ඌ ආපහු හම්බවෙනකම් හිතිලා තිබුනේ නෑ. අන්තිමට අපි ගෙදර යනකොට ජීවිතේ ගැන විකල්ප ගැන දේශපාලනය ගැන පවුල් ජීවිත ගැන සෑහෙන දේවල් කතා කරලා තිබුනා. අපි යන්න ගියා.

"මචං" 
ඔව්, මම සුජ්ජාට මගේ දුරකථන අංකය දීලා තිබුනා.
"අපි හම්බවෙමුද?" 
ඔව්, මම ඌව මට වැඩ නැතිවෙලාවක හවසක හම්බවෙන්න ගියා.

"උඹලා දොස්තර කෙනෙක්වත්  හම්බ වුනේ නැද්ද?" 
මට වෙන අහන්න දෙයක් තිබුනේ නෑ. ඌ දොස්තරට මොනා කියන්න ඇතිද කියලා මට හිතාගන්න බැරිවුනා.

"එකෙක් නෙමෙයි බං පස් දෙනෙක් හම්බවුනා." 
සුජ්ජා සිටින්නේ දුකෙන් යැයි කියා සිතුනත් උගේ මුහුනෙන් දුකක් හෝ සතුටත් නොපෙනේ. මම ඉන්පසු උගේ හැඟීම් තේරුම්ගන්නට ගියේ නැත.
"ඉතිං" 
සුජ්ජා මගේ ගැටළුවට උත්තරයක් නොදී මට ෆයිල් එකක් දික්කලා.
"ඕක බලපන්, බලලා උඹට එන පලවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒකට උත්තරේ උඹට හිතාගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නෙට උත්තරයක් මම ලඟ නෑ"
මම ෆයිල් එක පෙරලා බැලුවේ එයින්වත් මගේ ඊට මොහොතකට කලින් ඇතිවුන වැරදිකාර හැඟීම නැතිකරගන්න පුළුවන් වෙයි යැයි සිතමින්. නමුත් ඒ ෆයිල් එක ඇතුලේ තිබුනේ එච්චර සංකීර්ණ දෙයක් කියලා මට ඒක අතට ගන්නකොට හිතුනේ නෑ

"මොකක්... උඹට තාත්තා කෙනෙක් වෙන්න බෑ? ඒ මොන කුණුහරුපයක්ද?"
"මචං ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා." 
ලතා ගෙදර තනියම මම යනවා. මතක තියාගනින් ලතා තාම ඕක දන්නේ නෑ. උඹත් ඕක දන්නෙ නෑ.
සුජ්ජා ගියේය. මම තාමත් ඒ ගැන කල්පනා කරමි. සුජ්ජා ඒ ගැන කල්පනා කරයිද නැද්ද යන්න මම නොදනිමි.. 

10.25.2012

සෝමදාස..



වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි.

"මහත්තයා."
හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව පුරුවාටය.

"අංකල් කවුද"
පුරුවා බුවාව අඳුනාගෙන නැති සෙයකි. මම නම් දැක්කේත් අදය.

"මම සෝමදාස.. ඇයි මහත්තයා එදා මට ගෙදර යන්න සල්ලි දුන්නේ. මම හිතුවා මහත්තයාව බොරලැස්ගමුවේ හන්දියේදී හම්බවෙන්න පුළුවන් වෙයි කියලා. හොඳ වෙලාවට පැයක් වත් බලන් ඉන්න වුනේ නෑ. මම ආවේ මහත්තයාගේ සල්ලි දීලා යන්න"

සෝමදාස පුරුවාගේ අතේ රුපියල් 600 තබා නික්ම ගියේය. වුන දෙයක් හිතාගන්න බැරුව අගමුල මාරුවී සිටි මට මුළු කතාව පුරුවාගෙන් නොඅසා සිටිය නොහැකි විය. මට ඒ කතාව නොලියා සිටිය නොහැකි විය.

.........................................................................................................................................................

වෙලාව රාත්‍රී 11.30ට වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
සාමාන්‍යෙයන් පුරුවා වැඩ ඉවර වී බොරලැස්ගමුවට එනවිට රෑ හත වුනත් එදා ෂටලයෙන් බහිනකොට රෑ එකොලහමාර විතර වෙලාලු. කියන හැටියට බුවාට ඒ අංකල් හම්බවෙලා තියෙන්නේ කහඉර ලඟට ඇවිදගෙන එන අතරේ. ඔව් ඌ කහඉරෙන් පාර පනින එකෙක්.

"ඒ අංකල් මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ බං. මගෙන් ඇහුවේ මාලඹේට යන පාර"
"ඉතිං බං ඒ වෙලාවට බස් නෑනේ මම කිව්වා බස් නෑ ත්‍රී විල් එකකවත් යන්න කියලා. මචං කිව්වට විස්වාස කරපං ඒ අංකල් දෙහිවල ඉඳන් පයින් ඇවිල්ලා තියෙන්නේ."

"මම කිව්වා මාලඹේට ත්‍රී විල් එකක යන්න නම් රුපියල් 500 ක් විතර යයි පයින් යන්න නම් දුර වැඩියි කියලා"

"අංකල් කියනවා රුපියල් 500 තියෙනවානම් ගෙදර යනවා කියලා. අංකල්ගෙ ගෙවල් දැරණියගල. මාලඹේ තියෙන්නේ පොරගෙ අඳුනන තැනක්. දැරණියගලට යන්න රුපියල් 500 යන්නේ නෑ තමා ඒත් මම ඕනි කෙහෙල්මලක් කියලා රුපියල් 500 කුයි මාරු සල්ලි 50කුයි දුන්නා බං."

"අංකල් වැඩ කරලා තියෙන්නේ මුරකාරයෙක් විදිහට, මට කොම්පැනියේ නම කිව්වේ නෑ. කොම්පැනියට හොරු පැනලා හොරු අහුවෙනකම් අංකල්ව පොලීසියේ තියාගෙන හොරු අහුවුනාම එදා රෑ ගෙදර එවලා."

"මටත් දැන් සැනසීමයි බං, අංකල් හොරෙක් නෙමෙයි කියලා මට ෂුවර්නේ.. ඇත්තම කියන්න මමත් හිත හිත හිටියේ මම හොරෙක්ට රුපියල් 500 දුන්නා එහෙමනම් අපරාදේ කියලා"

කතාවේ සංක්ෂිප්තය එසේ අවසන් වේ. පුරුවා හමුවුනේ නැත්නම් සෝමදාස අංකල් මාලඹේට පයින් යාම පටන් ගනු ඇත. ඒ අතර තවත් පුරුවෙක් හමුවිය හැක. නැත්නම් අංකල් මාලඹේට පයින් යනු ඇත. මට මේ කතාව ලියන්නට ඉඩක් නොලැබෙනු ඇත.


8.27.2012

ජයසේන..

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. "
මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..

     *****************************************************************

නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්‍යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා.

ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන.

ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි දෙන්නයි ඇරෙන්න ඉස්පිරිතාලෙට මුරකාරයෙක් වත් හිටියේ නෑ. ඒක නිසා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්, පිරිමි වාට්ටුවේ නර්ස්, මිනී කපන එකා, කියන පට්ටම් තුන ඇරුනාම ජයසේනට මුරසේවයත් පැවරිලා තිබුනා. උණක්, කපාගැනිල්ලක්, අතපය කැඩිල්ලක්, මැලේරියාවක්, සර්පයෙක් ගැහිල්ලක් ඇරුනාම වෙනත් ලෙඩෙක් ආවේ කලාතුරකින්. සතියකින් මොන ලෙඩේ වුනත් හොඳ වුනේ නැත්නම් ජයසේන එක්ක රත්නපුරේ යවනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් තිබුනේ නෑ.

ජයසේන අඩි හයයි අඟල් බාගයක් උස වෙච්ච මටත් වඩා අඟල් දෙකක් විතර උස වුනත් ජයසේනට මට තරම් බඩක් තිබුනේ නෑ. සවුදම් ජෙමා වගේ බත්හැලි හතරක් පහක් වුනත් ගිලලා දාන්න පුළුවන් කියලා කියන ජයසේන සමහර දවස්වල ඇම්බියුලන්ස් එකේ පැත්තක් උස්සලා අපේ නරස් නෝනලා වුන උපේක්ෂාටයි, ස්වරණාටයි පෙන්නන්නේ මම තමා දුටුගැමුණු රජ්ජුරුවොන්ගේ ජයසේන කියලා ආඩම්බරේකුත් මූනෙන් පෙන්නන ගමන්.
"දහපාරක්ද විසිපාරක්ද කොහෙද ලේ දුන්න හින්දා තමා ඕකා ඔය යෝධයා වගේ වෙලා ඉන්නේ. ඒ පිනට තමා ඔච්චර සක්තියක් තියෙන්නේ"
 ඇටන්ඩන්ඩ් රාජපක්ෂ කිව්වේ මම දොස්තර කෙනෙක් කියලා අමතක වෙලාද කොහෙද.
"ඒ වුනාට ඕකාට කිසිම අණක් ගුණක් නෑ සර්.. එකම නංගිව පොලඟෙක් ගහලා මීට අවුරුද්දකට කලින් මැරුණ වෙලාවේ ඒකිගේ මිනිය කැපුවෙත් ඔය අසමජ්ජාතියා තමා. දැනටත් ගමේ උන් නැතිතැන බනිනවා ඕක කියලා. හැමදාම රෑට නිදාගන්න කලින් කසිප්පු හරි ගල් හරි බාගයක් ගහනවා. නංගිගෙ මිනිය කපන්න කලිනුත් බීලා හිටියේ කියලා රමණි නෝනා කිව්වා මම අහගෙන. මූට ඒ වැඩේ නොකර ඉන්න තිබුනේ සර්."

"ඇයි මොකද්ද ඒකෙ වැරැද්ද"
හරි වැරැද්දක් හිතාගන්න බැරිවුනත් ඒක නොකලයුතු වැඩක් කියලා මගේ හිතටත් වැටහෙමින් තිබුනා.

එදා ඉඳන් අද මේ පෝස්ට් මෝටම් එක ඉවරවෙනකම් මම ජයසේන එක්ක තනියම කතාකරන්න වෙලාවක් හදාගන්න උත්සාහ ගත්තා.
"ජයසේනගේ නංගි නැතිවුනේ ලඟදිලු නේද?"
මම කතාවට මුලක් හොයන්න පටන් ගත්තා.
"ගමේ එවුන් ඒ කතාව සර්ගෙත් කනේ තිබ්බා නේද? ඉතිං සර් මම නංගිව පණපිටින් කැපුවේ නෑනේ. අනික මේ ගමේ එකෙක්වත්.. අඩුමගානේ නුවන් මහත්තයාවත් ඒ මිනිය කපන්නේ නෑනේ සර්.. ඉතිං මම කලේ වැරැද්දක්ද?"
ජයසේන කතාකලේ ආවේගයකින් නොවේ. නමුත් යම් ආවේගයක් ඒ වචනවල ඇතැයි මට සිතේ. එවෙලේම බුලත් කෙල පාරක් මිදුලට ගහපු ජයසේන
"මම ටිකක් නිදාගන්න යනවා සර්, කොහේහරි යන්න තියෙනවානම් දොරට තට්ටුවක් දාන්න."
මටත් හවස් වරුවේ විශේෂ වැඩක් නොතිබුන නිසා ප්ලේන්ටියක් බොන්න හිතාගෙන කඩේ පැත්තට ඇවිදගෙන ගියා. ඒක අහපු එක හරිද වැරදිද කියන එක හිත ඇතුලේ දෝලනය වෙච්ච නිසා මම නුවන් අයියවත් කඩේට ගෙන්නාගත්තා.
"උඹයි මේ ගමේ එවුනුයි ඒ මිනිය තියාගෙන තාම කප කප හිටියට ජයසේන එදායින් ඒ මිනිය කපලා ඉවර කරන්න ඇති." 
මට නුවන් අයියාගෙන් ලැබුන පිලිතුර එපමණකට සීමා විය.

පහුවදාත් මම උදේ වැඩට යනකොට ජයසේන උපේක්ෂාට ඇමිබියුලන්ස් එක උස්සලා පෙන්නනවා මම බලාගෙන හිටියේ..
"මේ ඇම්බියුලන්ස් එක මට බරක් නෑ මිසී."
මට ජයසේන කියපු කතාව ඈතට ඇහුනා.

11.08.2011

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.
තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය.

අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත.
එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ. 
තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි.
ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ. 
ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත. නමුත් බොනී මට විශේෂය.
බොනී මාමේ ඇස් පේන්නෙ නැති එක නිකං මොන වගේද?
මම එසේ ඇසුවේ අඳුරේ ජීවත් වීම ගැන තිබූ කුතුහලය බොනීගෙන් අසා තුරල් කරගැනීමට විය යුතුයි. මට අද වෙනතුරුත් මම එසේ ඇසුවේ ඇයිදැයි සිතාගන්නට නොහැක.
හහ් හහ් හහ්.. 
ස්වාභාවයෙන්ම බොනී අයියා සද්ද නගා හිනාවෙයි. මද සිනාවක් ගැන බොනී අයියා දන්නේ නැත. කින්ඩියට වුවද බොනී අයියා සද්ද දමා හිනාවෙයි. මූනිච්චාවට සිනාවක් තාම බොනී අයියා විසින් හොයාගෙන නොතිබුනි. එසේත් නැතිනම් එය මට දමා නැත.
හහ් හහ් හහ්... බොනී අයියා තාමත් සිනාසෙයි. 
ලසී.. ඒක නිකං ඇස් පේනවා වගේ තමා. හහ් හහ් හහ්.. 
ඇස් පෙනීම කොයි වගේද යන්න මම සිතීමට වෑයම් කලෙමි. ඇස් පෙනීම මේවගේ යැයි මට සිතාගත නොහැකිවිය. එතනින් අපේ කතාව සීමා විය.
බොනී මාමේ මම උඹ ගැන පත්තරේට ලිවුවා. 
මම එක දවසක් විහිළුවට බොනියාට එසේ කිව්වා මතකය..
අපෝ එහෙනම් උඹ ෂුවර් එකට මගේ ඇස්පේන්නේ නෑ කියලා ලියන්න ඇති. 
බොනී අයියා එදා සිනාසුනේ නැත. එය බොරුවක් කියා වැටහෙන තුරු සිනාසුනේ නැත.
        මම ලැපෙන් චිත්‍රපට බලන විට බොනි අයියා මම චිත්‍රපටි බලනවා යන්න ඇස් දෙකෙන් දකී. පසුව ඔහු චිත්‍රපටිය ගැන විස්තර මගෙන් අසාගනී. පසුව බොනි අයියා ඒ චිත්‍රපටිය හතරමං හන්දියේ හැමෝගේම කණේ තියයි. දිනක් මම බැලූ එහෙත් නොබැලූ "අයන් මෑන්" මම රසවින්දේ එසේය.
බොනී හතරමං හන්දියෙන් පුෂ්පාරාමේ පැත්තට එයි. ඇවිත් ලසී සහ ලක්ෂ්මන් සමග ෂොට් එකක් ගසා නැවත හතරමං හන්දියට ඇවිද යයි.
අපරාදේ.... මට ඒකාලේ බොනී අඳුරගන්න තිබුනේ.. බොනියාට ග්ලූකෝමා හැදුනේ නැතුව තිබුනානම්...
       මට එහෙම සිතුනි. එසේ නම් මෙය නොලියවෙනු ඇත...
                 බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

10.20.2010

ජේසු පිහිටයි...!

පෙර ලියමි
මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි... 


ලසිත සොයුර,
ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි.
තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට  මේවා ලැබුනේ  නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්වුවත් ඉන් අනවශ්‍ය ප්‍රශ්න මතුවේයැයි ඇතිවූ බිය නිසා ඒ අදහස අත්හැර දැමුවෙමි. ඔබගේ පසුම්බියට විද්ද ගැටකපන්නා එහි තිබූ වටිනා දෑ පැහැර ගෙන මෙහි අඩංගු දෑ මහමගට විසිකර පලා යන්නට ඇත. එවන් අවස්ථාවක මා මේ දේවල් රැගෙන ඔබ හමුවීමට පැමිණියානම් මා හට ප්‍රශ්න රැසකට මූණ පාන්නට වෙනවා නොවේද? ඒ ගැන උගත් සිසුවෙකු වශයෙන් ඔබත් මොහොතක් සිතා බලන්න. 
        මටත් තිබුනා මේවා ගියත් එකයි නැතත් එකයි කියල ලියුම් කණුවකට දාලා එන්න ඒත් එහෙම කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ මොකද කිව්වොත් මේ අහිංසකයා දුප්පත් අයෙක් නම් රියදුරු බලපත්‍රයයි ජාතික හැඳුනුම්පතයි ගන්න තව කොච්චර කල් දුක් විඳියිද? වියදම් කරන්න සල්ලි ඇත්ද? යනාදි සිතුවිලි ගැන මසිතට ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇතිවූ නිසයි. මගේ මිතුරන් කිහිපදෙනෙකු කිව්වා ඔය අහක යන කුණු කරේ දාගන්නේ නැතුව ඔය ටික ලියුම් පෙට්ටියකට දාන්න කියලා. නමුත් මගේ හිත කිව්වෙම මේ ටික අයිතිකරුගේ අතටම පත් කරන්න ඕනේ කියන ස්ථිර නිගමනයයි. අන්න ඒ නිසාමයි මම මෙය රෙජිස්ටර් තැපෑලෙන් එවන්න තීරණය කලේ. හොඳ කිතුණු බැතිමතෙකු වූ මම අප අදහන ආගම දහමට අනුව යමෙක අමාරුවේ වැටුනු විටක ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වනවා මිස මගහරින පුරුද්දක් අප ලඟ නැහැ. අන්න ඒ නිසයි මෙතරම් කැපවීමකින් මගේය කියන් හැඟීමකින් ඔබට උදව් කරන්න පෙළඹුනේ. මේ උපකාරය ඔබ කෙලෙහිගුණ දන්නා අයෙක් නම් ජීවිත කාලයටම මතකයේ රැඳී තියේවි. යම් කෙනෙකුගේ විපතකදී ඔහුට අප උපකාර කලොත් අපේ විපතකදී ඒ කල උපකාරය නැවත ආපසු අප කරා පැමිනෙනු ඇත. එයයි දේව වචනය. මෙපමණ උනන්දුවකින් මා මේ උපකාරය ඔබ වෙනුවෙන් කරන්නේ ඔබගෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්න නොවන බව ඔබට වැටහෙනවා ඇත. කෙටියෙන්ම කිවහොත් මම ඔබ කළුද සුදුද කියාවත් අඳුරන්නේවත් නැහැ නේද? කවදා හෝ දිනක යලි අපි කොහේදී හෝ හමුවන්නත් පුළුවන් හමුනොවෙන්නත් පුළුවන්. එය දෙවියන්ටම බාරයි. කවදා හෝ රාගම+ ලකුණින් මා ඔබ ඇමතුවොත් ඒ ඔබට උපකාර කල ඔබේ නුදුටු මිතුරා බව පමණක් හඳුනා ගන්න. එපමණයි ඉතින් ඔබට සුබ අනාගතයක් පතමින් නවතින මා

නොදුටු මිතුරා
රාගම+
ජේසු පිහිටයි/තෙරුවන් සරණයි
09/10/2010

පලි,
ආපසු ලිපිනය ව්‍යාජ එකකි
ඒ පසුපස නොයන්න.. පසුව මගේ සත්‍ය තොරතුරුත් දුරකථන අංකයත් දන්වා එවන්නම්..

අවසානයට ලියමි..
ලියුම ලැබුන දිනට පසුදින මට දුරකථන ඇමතුමක් ලැබින. රාගම+ ඔහුගේ ජංගම දුරකථනයෙන් මා ඇමතීය.. ඔහු මා අමතා ඇත්තේ මට ලියකියවිලි ලැබීදැයි දැනගැනීමටය. මම ඔහුට ස්තූතියි කිව්වත් එය ඹහු කල උදව්වට සරිලන්නේ නැත. මම මොහු පසුම්බියේ අනික් අයිතිකාරයා යැයි හීනෙකින්වත් නොහිතන්නට තරම් මේ සාධක ප්‍රමාණවත් යැයි සිතමි. නැවතත් ස්තූතියි රාගම +