4.28.2015

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට ආපු ඔතෑනි කම නිසාත් හුදකලාවට ඇතිවෙලා තිබුන ඇබ්බැහිය නිසාත් මම එච්චර උනන්දුවෙන් ඒ වැඩ වලට සහභාගී වුනේ නෑ. ඉඳලා හිටලා සහභාගී වුන සභාවක් වුනත් මට මහා කන්දොස්කිරියාවක් වගේ තේරුනේ මම ඒකට කැමැත්තෙන් නොගිය නිසා වෙන්න පුළුවන්.

ඔව්, පසුකාලීනව මම තරුණ සමිතියේ සභාවලට සහභාගී වුනා. ඒකට හේතුව අද වෙනකොට මතක නැත්තේ මම මේ කතාවේ ඒ පරිඡේදය ගැන ස්මරණය කරපු නැති නිසා වෙන්න පුළුවන් නැත්නම් ඒක කාලීනව සිද්දවුන දෙයක් නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් ඒකට හේතුවක් දෙනවානම් මට දෙන්න තියෙන්නේ රේවත හාමුදුරුවෝ නිසා කියලා කියන්න පුළුවන්.

රේවත හාමුදුරුවෝ කියන්නේ අමුතු චරිතයක්. වැඩිපුර කතා කරන්න කැමති රේවත හාමුදුරුවෝ තරුණ පිරිසට ඉගැන්වූයේ බෞද්ධ ඉගැන්වීම් කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒ තරුණ සංගමයේ දැන් ජීවත් වෙන සුමනසිරිගෙන් හරි ජිනදාසගෙන් හරි ඇහුවොත් රේවතයාගේ අම්මාට කියලා කියන තරමට ඒ ඉගැන්වීම් බරපතලයි. කොහොමවෙතත් එක්දාස් නමසිය අනුදෙකේ සුමනසිරිලා ජිනදාසලා හාමුදුරුවෝ කියන දේවල් උඩින්ම පිලි අරගෙන තිබුනේ.

දැන් රේවතයා වෙච්ච ඒකාලේ රේවත හාමුදුරුවෝ තරුණයින්ට කිව්වේ හරිම සරල දෙයක්. රේවත හාමුදුරුවෝ හැමවෙලේම වැඩ මූලික කරගෙන තිබුනේ, හාමුදුරුවෝ කියපු හැටියට බුද්ධ කියන්නේ විප්ලවවාදියෙක්, හාමුදුරුවොන්ගේ තිබුන මාක්ස්වාදී දැනුමත් එක්ක කලවම් කරපු බුද්ධ ධර්මය අමුතු සංකල්පීය වෙනසක් මට හැරුනුකොට අනික් තරුණ කොටසට එකතු කලා කිව්වොත් ඒක වැරදි නෑ. වැඩ මූලික කරගත්තු සමාජ පරිසරයක් නිර්මාණය කරන්න තරුණ මනස නිර්මාණය කරපු රේවතයා ගෞතම කියන විප්ලවවාදියා නැගී සිටියේ ඒ කාලේ ආර්ය කියන ඒකාධිපති පාලනයට විරුද්ධව කියලා දැඩිව විශ්වාස කලා සහ ඒ වෙනුවෙන් පෙනී සිටියා. රේවතගේ ඉගැන්වීම්වල මූලික හරය වුනේ සමානාත්මතාවය. ඒක ඒ කාලේ රාගල තරුණ පරපුරට උනක් වගේ බෝවුනා. කොටින්ම තරුණයෙක්ට ලඟට කතා කරලා කනට ගැහුවත් අතේ තියෙන මල්ල අරන් ගෙදර ගිහින් බස්සන ගානට තරුණයින් වෙනස් වුනා. මගේ ජීවිතයේ එච්චර වෙනසක් නොවුනේ මම වෙනස්වීමට වැඩිපුරු නැඹුරු නැති මනුස්සයෙක් නිසා හරි මට ආගම කියන එකේ එච්චර වැදගැම්මක් නොතිබුන මනුස්සයෙක් නිසා හරි වෙන්න පුළුවන්. කොටින්ම ගෞතම කවුරුවුනත් මට එච්චර වැදගත්කමක් තිබුනේ නෑ.

මේ ඔක්කොම වෙනස් වෙන්න ගියේ දවසක් දෙකක් විතර. ඒ උගේ අම්මගේ රේවතයා අළුතින් පත්වුන දෙමල විදුහල්පතිතුමාගේ දුවත් එක්ක පැනලා ගියාට පස්සේ... පස්සේ තරුණ සංගමය එදා රෑම විදුහල්පතිතුමාගේ ගේ ගිනිතිබ්බා... 

2.05.2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි.

පුරහඳ..
හැමදාම නැතිවුනත්.
හැමදාම තිබුනත්.
මට ඒ පුරහඳ මතක් වෙන්නේ
මාසෙකට සැරයයි..

පුරහඳේ..
හාවෝ හිටියත්..
හාවෝ නොහිටියත්..
මට ඒ පුරහඳ මතක්වෙන්නේ
මාසෙකට සැරයයි...


පුරහඳ..
ආවත් නොආවත්..
ඒ පුරහඳ තියෙනකම්..
මම නිර්වාණයේ දොරකඩ..
ඇතුල්වීම තහනම්..