තුලාධර ගැහැණියගේ
කාලවර්ණ රෙදිපට
අහිමිකල..
සුද්දන්ගේ කෙලිය
සුද්දන්ට වෙන්දේසිකල..
පැතිරවූ මුසාවට
සම්මාන හිමිකල..
ත්‍රස්තයන් සමග නිදිවැද
මැක්කන් යවෙස් ලූ..
අපි..
සුරා සූදුවෙන් තොර
ආශ්චර්යයක් කරා
පියනගයි..
සැරද?
ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය.
එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ.තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි.
ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ.ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත. නමුත් බොනී මට විශේෂය.
බොනී මාමේ ඇස් පේන්නෙ නැති එක නිකං මොන වගේද?මම එසේ ඇසුවේ අඳුරේ ජීවත් වීම ගැන තිබූ කුතුහලය බොනීගෙන් අසා තුරල් කරගැනීමට විය යුතුයි. මට අද වෙනතුරුත් මම එසේ ඇසුවේ ඇයිදැයි සිතාගන්නට නොහැක.
හහ් හහ් හහ්..ස්වාභාවයෙන්ම බොනී අයියා සද්ද නගා හිනාවෙයි. මද සිනාවක් ගැන බොනී අයියා දන්නේ නැත. කින්ඩියට වුවද බොනී අයියා සද්ද දමා හිනාවෙයි. මූනිච්චාවට සිනාවක් තාම බොනී අයියා විසින් හොයාගෙන නොතිබුනි. එසේත් නැතිනම් එය මට දමා නැත.
හහ් හහ් හහ්... බොනී අයියා තාමත් සිනාසෙයි.
ලසී.. ඒක නිකං ඇස් පේනවා වගේ තමා. හහ් හහ් හහ්..ඇස් පෙනීම කොයි වගේද යන්න මම සිතීමට වෑයම් කලෙමි. ඇස් පෙනීම මේවගේ යැයි මට සිතාගත නොහැකිවිය. එතනින් අපේ කතාව සීමා විය.
බොනී මාමේ මම උඹ ගැන පත්තරේට ලිවුවා.මම එක දවසක් විහිළුවට බොනියාට එසේ කිව්වා මතකය..
අපෝ එහෙනම් උඹ ෂුවර් එකට මගේ ඇස්පේන්නේ නෑ කියලා ලියන්න ඇති.බොනී අයියා එදා සිනාසුනේ නැත. එය බොරුවක් කියා වැටහෙන තුරු සිනාසුනේ නැත.