"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. "මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..
*****************************************************************
නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා.
ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන.
ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි දෙන්නයි ඇරෙන්න ඉස්පිරිතාලෙට මුරකාරයෙක් වත් හිටියේ නෑ. ඒක නිසා ඇම්බියුලන්ස් ඩ්රයිවර්, පිරිමි වාට්ටුවේ නර්ස්, මිනී කපන එකා, කියන පට්ටම් තුන ඇරුනාම ජයසේනට මුරසේවයත් පැවරිලා තිබුනා. උණක්, කපාගැනිල්ලක්, අතපය කැඩිල්ලක්, මැලේරියාවක්, සර්පයෙක් ගැහිල්ලක් ඇරුනාම වෙනත් ලෙඩෙක් ආවේ කලාතුරකින්. සතියකින් මොන ලෙඩේ වුනත් හොඳ වුනේ නැත්නම් ජයසේන එක්ක රත්නපුරේ යවනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් තිබුනේ නෑ.
"දහපාරක්ද විසිපාරක්ද කොහෙද ලේ දුන්න හින්දා තමා ඕකා ඔය යෝධයා වගේ වෙලා ඉන්නේ. ඒ පිනට තමා ඔච්චර සක්තියක් තියෙන්නේ"ඇටන්ඩන්ඩ් රාජපක්ෂ කිව්වේ මම දොස්තර කෙනෙක් කියලා අමතක වෙලාද කොහෙද.
"ඒ වුනාට ඕකාට කිසිම අණක් ගුණක් නෑ සර්.. එකම නංගිව පොලඟෙක් ගහලා මීට අවුරුද්දකට කලින් මැරුණ වෙලාවේ ඒකිගේ මිනිය කැපුවෙත් ඔය අසමජ්ජාතියා තමා. දැනටත් ගමේ උන් නැතිතැන බනිනවා ඕක කියලා. හැමදාම රෑට නිදාගන්න කලින් කසිප්පු හරි ගල් හරි බාගයක් ගහනවා. නංගිගෙ මිනිය කපන්න කලිනුත් බීලා හිටියේ කියලා රමණි නෝනා කිව්වා මම අහගෙන. මූට ඒ වැඩේ නොකර ඉන්න තිබුනේ සර්."
"ඇයි මොකද්ද ඒකෙ වැරැද්ද"
හරි වැරැද්දක් හිතාගන්න බැරිවුනත් ඒක නොකලයුතු වැඩක් කියලා මගේ හිතටත් වැටහෙමින් තිබුනා.
එදා ඉඳන් අද මේ පෝස්ට් මෝටම් එක ඉවරවෙනකම් මම ජයසේන එක්ක තනියම කතාකරන්න වෙලාවක් හදාගන්න උත්සාහ ගත්තා.
"ජයසේනගේ නංගි නැතිවුනේ ලඟදිලු නේද?"මම කතාවට මුලක් හොයන්න පටන් ගත්තා.
"ගමේ එවුන් ඒ කතාව සර්ගෙත් කනේ තිබ්බා නේද? ඉතිං සර් මම නංගිව පණපිටින් කැපුවේ නෑනේ. අනික මේ ගමේ එකෙක්වත්.. අඩුමගානේ නුවන් මහත්තයාවත් ඒ මිනිය කපන්නේ නෑනේ සර්.. ඉතිං මම කලේ වැරැද්දක්ද?"ජයසේන කතාකලේ ආවේගයකින් නොවේ. නමුත් යම් ආවේගයක් ඒ වචනවල ඇතැයි මට සිතේ. එවෙලේම බුලත් කෙල පාරක් මිදුලට ගහපු ජයසේන
"මම ටිකක් නිදාගන්න යනවා සර්, කොහේහරි යන්න තියෙනවානම් දොරට තට්ටුවක් දාන්න."මටත් හවස් වරුවේ විශේෂ වැඩක් නොතිබුන නිසා ප්ලේන්ටියක් බොන්න හිතාගෙන කඩේ පැත්තට ඇවිදගෙන ගියා. ඒක අහපු එක හරිද වැරදිද කියන එක හිත ඇතුලේ දෝලනය වෙච්ච නිසා මම නුවන් අයියවත් කඩේට ගෙන්නාගත්තා.
"උඹයි මේ ගමේ එවුනුයි ඒ මිනිය තියාගෙන තාම කප කප හිටියට ජයසේන එදායින් ඒ මිනිය කපලා ඉවර කරන්න ඇති."මට නුවන් අයියාගෙන් ලැබුන පිලිතුර එපමණකට සීමා විය.
පහුවදාත් මම උදේ වැඩට යනකොට ජයසේන උපේක්ෂාට ඇමිබියුලන්ස් එක උස්සලා පෙන්නනවා මම බලාගෙන හිටියේ..
"මේ ඇම්බියුලන්ස් එක මට බරක් නෑ මිසී."මට ජයසේන කියපු කතාව ඈතට ඇහුනා.