මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි.
පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.
පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්.
ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි.
රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝතිපාලයන් ගයයි. වාදක කණ්ඩායම කොතරම් දක්ෂ වුවත් ඒ හඬ ඔක්ටොපෑඩයකින් මකා දැමීම උගහටය. කොතෙක් උත්සාහකලද මතුවනුයේ ජෝතිපාලයන්ගේ හඬය. කතා දෙකක් නැත. අපරාදේ... නැවතත් මම පොත පෙරළුවෙමි.
"ස්ටීව් බිකෝ මියයයි".... මම වීදුරුවෙන් එලිය බැලීමි. සංඛපාල විහාරය වේගයෙන් පසුවේ. අපරාදේ... සියල්ල අමතක කර මම පොත වසා දැමුවෙමි. සංවිධානාත්මක ලෙස කරන ඉල්ලීම් සුද්දන්ගේ බිහිරි කන් වලට වුවද ඇසීමට ඉඩ ඇති බව බිකෝ තදින්ම විශ්වාස කලේය. මම අපේ ෆැකල්ටිය සහ අරගල ගැන කල්පනා කලෙමි. බැරිවෙලාවත් අපි පන්ති වර්ජනයක් කලොත් කීදෙනෙක් ලෙක්චර්ස් යයිද. බැරිවෙලාවත් කාගේ හරි පන්ති තහනම් වුනොත් ඌට මොකද වෙන්නෙ...? චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ "සැඳෑ සමයයි ජීවිතේ" අන්ප්ලග් එකක ගැයුවානම් කොහොම තියෙයිද...? මම චන්ද්‍රසේනගේ සින්දුව අන්ප්ලග් කිරීමට උත්සාහ කලෙමි. චන්ද්‍රසේනත් සල්ලි වලට එල්ලිලා මැරිලා. අපරාදේ....
වුඩ්ස් දකුණු අප්‍රිකාවෙන් පනිනකොට බසය ඇඹිලිපිටියේ නතර කර අවසන්ය. ත්‍රීවිල් අයියා ගෙදරටම රුපියල් 70 ක් ඉල්ලූ නිසා මම ඌට බැණ බැණ මහ ඇල ලඟට පැමිණියෙමි. වපුරන දවස් හින්දා ඇල ඇරලා වගේ. ඇල හරියට නොපෙනුනත් වතුර බහින සද්දේ පැහැදිලිව ඇසේ..
අවසානයේ මම ගෙදර ගියෙමි........!


