8.28.2009

අද්දර ජීවිත













"කාටවත් ඇහුනෙ නෑ නේද?"
බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති...
"මේකයි වැඩේ.."
ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්...
"අපි හතරදෙනා මෙහෙම. "
භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති.
"ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?"
බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ..
කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි..
"මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?"
ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති...
"හරි යමන්"
මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහිලා තිබුනේ. මිනිස්සු ඊටත් වඩා විඳවනවා කියලා දන්නේ එලියට ආවහම.. යන්න කලින් ඉන්න එකෙක්ට කියලා යමං නැත්නම් අවුලක් ආවාම ශේප් කරන්න එකෙක්වත් නැති වෙනවා.භාශි කියනකොට මතක් වුනේ.. බය නිසාද කොහෙද අපිට මූලික න්‍යායන් පවා අමතක වෙනවා..

"මොකද බං අදත්"
ඊයෙත් පයිලට් පාරකට ගිය හින්දා බුට්ටා නැගිටලා ආවේ අකමැත්තෙන්. බුට්ටාට සිද්දිය විස්තර කරනකොට උගේ මූණේ කොච්චර පුදුමයක් තියෙන්න ඇද්ද කියලා බලාගන්න ලයිට් එලියක්වත් තිබුනානම් කියලා මට හිතුනා.

දිවුල්ගනේගෙ අන්දර යායේ හා ඇසට අසුවන මායිමේ , කපුගේගෙ උන්මාද සිතුවම් ගීත විදිහට යෝජනා වුන අතරම මමත් බකලත් සල්ලි එකතු කරන්න සෙට් වුනා.
"සල්ලි එකතු කරන්නම ඕනිද?"
මම ඇහුවේ වැඩේ කර අරින්න පුළුවන්ද කියලා බලන්නත් එක්ක.
"නැතුව වැඩක් තියෙනවද?"
අන්තිමට මට සල්ලි එකතු කරන්න වුනා..යහළුවෙක් රෝහල්ගත කර ඇති බැවින් ඔහුට අධාර පිණිස මෙසේ බස් තුල සින්දු කියා සල්ලි එකතු කරන බවට කතාවක් ගොතාගත් අපි 138 එනකම් හෝල්ට් එකට වෙලා බලන් හිටියා..

"කවුද පුතා ඔය රස්සාව පුරුදු කලේ"
අවුරුදු 50ක් විතර වුන ඇන්ටි එහෙම ඇහුවේ අපි ගැන අනුකම්පාවෙන් වෙන්න ඇති. කලින් ඒ වගේ ප්‍රශ්ණයක් බලාපොරොත්තු වෙලා ආපු නැති නිසා මගේ කටහඬ ගොළුවුනා. නුගේගොඩින් බැස්සට පස්සේ ආයි එනගමන් සින්දු කියකකොට කලින් තරම් චකිතයක් හිතේ තිබුනේ නෑ ඒක හින්දද කොහෙද එනකොට වුනේ මොනවද කියන එක මගේ මතකයේ නෑ..

"අම්මට සිරි... 350ක් එකතු වෙලා.."
අපි ගණන් බලලා ඇඳට පැනලා නින්ද යනකම් අද වුන දේ ගැන කතා කලා ඒ අතර එකම කතාව දෙතුන් පාරක් කියවුනේ නැත්තෙමත් නෙමෙයි.

"මේකෙ හිඟන්නො වගයක් ඉන්නවා, වහාම කවුද කියලා කියන්න වෙයි බැරිවෙලාවත් මට අහුවුනොත් ලේසි වෙන්නෙ නෑ"
සර් එහෙම කියනකොට මගේ බඩ දන්න ගත්තෙ බඩේ අමාරුවකට නම් වෙන්න බෑ. කොහොමත් දවල් කෑම ඉවරවුන ගමන් අලියා ඇවිත් භාෂිටයි බුට්ටටයි සර් කතා කලා කිව්වාම මම ඇඳට වැටුනෙ නින්ද ගියාමවත් බය නැතිවෙලා යයි කියලා හිතාගෙන.

"තාරක අපි අඳුරන මිනිස්සු තාරකගේ තාත්තවත් මම හොඳට අඳුරනවා. මට හංගන්න දෙයක් නෑ. කියමුකො ඊයෙ රෑ වුනදේ.. සිංදු කිව්වේ කීයට විතරද" "ඒ කිව්වේ"
බුට්ටා එහෙම කිව්වාම
"ඔයයි තව ඔයාගෙ යාළුවො තුන්දෙනෙකුයි බස් එකේ සිංදු කියනවා ආදිශිෂ්‍යයෙක් දැකලා තියෙනවා. නෑ කියන්න එපා.." අනේ සර් මම සින්දු කිව්වොත් මිනිස්සු සල්ලි දෙයිද...? බුට්ටා එහෙම කියලා තියෙන්නෙ මද සිනාවක් එක්කම... කොහොමවුනත් සතියක් විතර සර්ට මූණ නොදුන්නට, අපි පස්දෙනා තැන් තැන්වල ඉඳගෙන කුටුකුටු ගෑවට. භාෂියි බුට්ටයි දෙන්නම පැය දෙකක් විතර සර් ලඟ ඉඳලා වමාරන්නේ නැතුව ආපු හින්ද තාම ඒ වැඩේ කලේ කවුද කියලා සර් දන්නේ නෑ. එකතුවුන සල්ලිවලට වුනේ මොනවද කියලා මම අදටවත් දන්නෙ නෑ සමහරවිට ඒටික විසිකරන්න ඇති. නැත්නම් කැන්ටිමෙන් කන්න ඇති. මොනාවුනත් ඒක ජීවිතේ පුරාම මතක තියෙන්නේ ආයි ජීවිතේ පුරාවට ඒ වගේ අණ්ඩපාල වැඩක් කරන්න හම්බවෙන්නේ නැති හින්දා වෙන්න ඇති.අදටත් මට බස් එකක පොඩි එකෙක් සින්දු කියනකොට මම ඒ විඳපු දේ මතක් වෙනවා. අපි ඒ වැඩේ කලේ ආතල් එකට වුනත් ඒ පොඩි එකාට නම් ඒකෙ ආතල් එකකට වඩා වැඩි යමක් තියෙන්න ඕනි..

8.12.2009

සැඟවුන නුවර...

අරුණළු ටික ටික මැකීගෙන එනකොට, ලා හිරු එලිය මාතලේ එලිය කරන්න පටන් අරගෙන...
අපි ඩිපෝව හොයාගෙන ගියේ නාරංගමුවට යන බස් එක මගහැරෙයි කියලා බයේ...

මැදිවිය පසුකර සිටියත් කොන්දොස්තර අය්යා ජේමිස් අය්යා කියලා කියපු රියදුරු ජේමිස් අය්යා එක්ක අපිත් කුලුපග වුනා.
"දෙයියන්ගෙ පිහිටෙන් මහත්තෙලාට දෙක විතර වෙනකොට නාරංගමුවට යන්න පුළුවන් වේවි"
එහෙම කියනකොටම ඔරලෝසුව බලපු දුකා
"අම්මෝ ඒ කියන්නෙ පැය 6ක් විතරනේ එච්චර වෙලා යනවද" කියලා ඇහුවෙ පුදුමයෙන්.

පුදුම නොවෙන්න හේතුවකුත් නෑ. අපි හිතාගෙන හිටියෙ මාතලේ ඉඳන් ටික දුරක් කියලා වුනාට පැය 6ක්ම යන්න තියෙනවනෙ...

"පය ඉක්මන් කරලා නාරංගමුවෙ ඉඳන් ගියොත් බිම් කළුවර වැටෙන්න කලින් යාගන්න පුළුවන්"

ජේමිස් අය්යගෙ කතාව හරි තමා... අපි හරියටම මීමුරේට යනකොට යකාගෙ කලුවර මීමුරේ ගිලගන්න බලාගෙන හිටියා... අපි විතරක් නම් කමකුත් නෑ... ගෑණු ලමයිනුත් ඉන්න හින්ද නවාතැන් ගැටලුව නම් අපිට දැනිල තිබුනෙ...

"විශ්ව විද්‍යාලෙ ලමයි හින්දා බෑ කියන්නත් බෑ.."

ලොකු හාමුදුරුවො බණ මඩුවෙ නවාතැන් දුන්නෙ වැඩි කැමැත්තකින් නම් නෙමෙයි...
උදේ පාන්දරම කඩමණ්ඩියෙන් තේකක් බීලා, මඤ්ඤොක්ක මාලුවයි පොල්සම්බෝලෙකුයි බතුයි කාලා මීමුරේ විස්තර හොයන්න ගත්ත.
මීමුරේ පැත්තකින් හුන්නස්ගිරිය කඳු පංතියෙන්ද තව පැත්තකින් ලකේගලින්ද වටවුනු පවුල් 20ක් ජීවත් වෙන පුංචි ගම්මානයක්. ලඟම නගරය වන හුන්නස්ගිරියට මීමුරේ ඉඳන් කිලෝමීටර 5ක් විතර ඇති... බස් එකක් යන්න පුලුවන් තත්වයේ හරිහමන් පාරක් නැතිවුනාට පාරක් හදලා ජනතා අයිතියටත් පත්කලා කියලා ස්ථම්භ 2ක් නම් ගහලා තිබුනා.. ඇත්තටම බස් එකක් වත් තිබුනනම් කඩේ ආච්චි වගේ හුන්නස්ගිරිය ටවුමවත් ඇහැට දැකලා නැති හැමෝටම අඩුම ගානේ ටවුමටවත් යාගන්න තිබුනා. කඩේ අය්යා නැතිවෙන්න මීමුරේ මිනිස්සු හදිස්සියකට ඉස්පිරිතාලෙකටවත් ගිහින් හමාරයි.

වෑන් එක එල්ෆ් එකක් වුනාට මීමුරේට ඒක ජගුවර් එකකටත් වඩා වටිනවා...

ජීවත්වෙන්නට කියාපු පලාත කියලා හිතුනට මොකද ජංගම දුරකථනය පාළුවට ගිහිල්ලා... යන්තම චතුරට පිංසිද්ද වෙන්න ඇයට ඇමතුමක් ගත්තා... ඇගෙන්ම විස්තර අරගෙන චාරිකාව ඇය නැතුවම එන්න වුනානෙ..!!! වෙන දවසක අපි දෙන්න විතරක් මීමුරේ එනවා කියලා හිතාගෙන මම දුරකථනයේ ඇගේ අංකය ඔබන්න පටන් ගත්තා..

7.09.2009

මාස්ටර්


බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක...
ක්‍රිස්තූස් වහන්සේ ස්වර්ගස්ත වූ සේක...
ලොකු හාමුදුරුවෝ අපවත් වූ සේක...
පොඩි විජේ වලකජ්ජ ගැසුවේය...
ඇමතිතුමා අභාවප්‍රාප්ත විය...
ඒත්..........
මාස්ටර් මලා...



කේමදාස මාස්ටර්ගේ ආදාහනය දවසේ බෙදාහරින ලද පත්‍රිකාවක තිබුන පොඩි වදන් වැලක්...
අදහස පැහැදිලි වුනත් වචන ටික හරියටම ඒවද කියලා විශ්වාසයක් නෑ...
සන්නස්ගලයන්ගේ මම දැකපු අර්ථවත් ඇමුණුමක්...
මාස්ටර්ට ලැබුනු දේවල්...
මාස්ටර් කොයිවගේ චරිතයක්ද කියලා මේ වචන ටික කියෙව්වාම හොඳටම දැනෙනවා...
ස්තුතියි සන්නස්ගලයිනි...

6.03.2009

මට ඌව හමුවීමටද උවමනාවක්ද වූයේ නැත.

"අනේ මන්දා බං මේ ගෑණිව කොහොම තේරුම් ගන්නද කියලා"
ඉන්දිකයා එකපාර බංකුවේ හෙවනට වැවිලා තිබුනු කොට්ටම්බා ගහේ ගෙඩි හොයන්න පටන් ගත්තේ සමහරවිට උගේ කඳුලු මට පෙනෙයි කියලා බයේ වෙන්නත් පුළුවන්...
"ගෑණුන්ව තේරුම් ගන්න යන එක මහ පොල් බූරු වැඩක්. ගෑණු කියන්නේ හෙන විපරීත ජාතියක් බං.. දෙයියො ගෑණිව මවලා තියෙන්නෙ ගංජා ගහලා. ඒත් මට වෙලාවකට හිතෙනවා ඔය දෙයියො කියන්නේ ගෑණියෙක්වත්දෝ කියලා බං."
ඉන්දිකයා තාමත් කොට්ටම්බා ගෙඩි සොයයි, උගේ හිත හැදීමට මම යමක් කිව යුතුව ඇත.
"මේ අහපන් දැන් ඒකිට උඹව එපා නම් නිකං පදිරි වෙන්න මොකට යනවාද? මේ ලෝකෙ ගෑණු නෑ කියලා හිතුවද?"
මම මූදේ ඉන්නෙ එක මාළුවද යන්න නොපැවසුවේ දැනටමත් හත් අටදෙනෙක් ඌට ඔය කතාව කියා තිබීමට ඉඩ තිබූ නිසාය...
"හැම එකාම කියන කතාව උඹත් කියනවා කියලා හිතුවා නම් මම උඹට කෝල් කරලා ගෙන්නගන්නෙ නෑ.. සිගරට් එකක් බොමුද?"

ඉන්දික ඇතුලට ගොස් සිගරට් ගෙනෙනතුරු මම කල්පනා කලේ එය ගැනය.. තුන් අවුරුදු ප්‍රේමයක්
"මුලින් ලව් කරලා ට්‍රේනින් එක කාලයේ එක පාර නවත්තලා ගෑනි ආයි කැම්පස් ආවම මුගේ කරේ එල්ලුනා.. අන්න ගෑනු.."
කට වාචාල කමට ධම්මිකයා එහෙම කිව්වත් කතාව වැරදි නැතැයි මටත් සිතුනි..
ඒත් ඉතිං එපානම් බලෙන් ඉන්නෙ මොකටද? අපරාදේ ලස්සන කෙල්ල... මට ඇගේ රුව සිහිවිය..
"මේ දවස්වල සිගරටුත් වැඩිපුර පෙවෙනවා බං"
සිගරට් එකේ කෙලවරින් පිටවුන දුම සහ ඉන්දිකයාගේ මුවින් පිටවන දුම් එකට කලවම් වේ. ඉන්දිකයා සිගරට් බොන්නේ ලඟදී සිගරට් බොන්න පුරුදු වුන එකෙක් වගේ යැයි මට සිතුනි.
"මේකයි මචං සිගරට් එකෙනුත් ගල් බෝතලෙනුත් ලැබෙන දේවල් තියෙනවා නොලැබෙන දේවල් තියෙනවා බොන එක බොන විදිහට බීපන් ප්‍රශ්න විසඳන්න කියලා කන පැලෙන්න බීලා වෙරි හිඳිලා බලනකොට ප්‍රශ්නෙ එතන එහෙම්මමයි"
ඉන්දිකයා කොට්ටම්බා ගෙඩියක් සොයාගෙන ඇත. ඌ එදෙසට දුම් පිටකරයි.
"ඒකිට හොඳ ජොබකුත් සෙට් බලපන් මෙහෙම බලුවැඩ කරන එවුන්ටත් හරියනවානේ"
උගේ හඬ හැඟුම්බරය. දහස් ගානක් වචන ගොනුකලත් ඌට හිතෙන දේ තීරණය කිරීමට මට නොහැක
"මිනිහෙක්ගෙ කලික්‍රියාවෙන් ඌට හරියනවාද වරදිනවාද කියලා කියන එක මහා බොරු වැඩක්. ලෝක ධර්මය කියන්නේ මිනිස්සු හිත හදාගන්න හදාගත්තු කතාවක්. එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. මොනා වුනත් උඹ ඒකිට අද වෙනකනුත් ලව්නෙ බං. ඒකි කරපු වැඩේ උඹට අනුව අසාධාරන වෙන්න ඇති. ඒකිගේ පැත්තෙන් මොන අවුල් තියෙනවාද කියලා අපි දන්නෙ නෑනේ, දෙන්නෙක් තේරුම් ගන්නවා කියන එක විකාරයක් අපි කවදාවත් අනිකාගේ ඇහෙන් අනිකා දිහා බලන්නේ නෑ එහෙම බලන්නත් බෑ... අපි අපිට පේන විදිහට අනිකාගේ ප්‍රශ්නෙ දිහාත් බලනවා. සමහර වෙලාවට ඒක අනිකා හිතන එකට සමාන වෙන්න පුළුවන්. හැබැයි ඒ එක අවස්ථාවක් විතරයි කියන එක මතක තියාගනින්.. "
ප්‍රථම වතාවට ඉන්දිකයා තිරස්ව බලාගෙන සිටියේය. ඌ බලා සිටියේ ගේට්ටුව දෙසය... සිගරට්ටුව ඇත්තේ මහරගමට ආසන්නයේය...
"ඒකිට මාව මදිවුනා බං! ඒකිට ඕනි පොරක් මම කැම්පස් එක ඇතුලේ පොරක් වුනාට එලියෙදි මදුරුවෙක්ටත් අන්තයිනෙ බං ඒකි එලියට ගියාම පොරක්ව හොයාගත්තා"
ඌ සිගරට්ටුවේ අවසාන දුම් උගුර ඇද පිල්ටරය බේඳුරු පඳුර ඇතුලට විසිකලේය. මගේ එක තව ඉතුරුය. මම එකවිට උගුරු දෙකක් ඇද්දේ එය ඉක්මනින් ඉවරයක් දැකීමට අවශ්‍ය වූ නිසාය..
"ආදරේ කියන්නේ කලාවක්. අපිට ප්ලේටෝ කියපු අනික් ලිංගිකයා හොයාගෙන යන්න වෙලාවක් නැති හින්දා අපිට හම්බුවෙන එකාගෙන් සෑහීමට පත්වෙන්න වෙනවා. එතකොට දෙන්නා ගැලපෙන්නෙ නෑ. කවුරුහරි එහෙම නෑ කියලා කියනවානම් ඌ අර මිනිස්සු මට අත්පුඩි ගහනවා කියපු මදුරුවා වගේ එකෙක්. ඒ එන නොගැලපීමට වෙනස්කමට අපි ආදරය කරනවා නම් අන්න ඒක තමා බං කලාව"
මම සිගරට් එක තාප්පේ අයිනට විසිකර නැගිට්ටෙමි.. සංවාදය සිගරට්ටුවේ දිගකට සීමා විය. පසුව මම ප්ලේන්ටියක් බී බෝඩිමට ගියෙමි. ඊටපසු මට ඉන්දිකයාව හමුවුනේ නැත. මට ඌව හමුවීමටද උවමනාවක්ද වූයේ නැත.

5.25.2009

මර්දනය

ඇනෝනිමස් උවද වැදගත් දෙයක් කියනවා නම් මා එය හිස නමා පිළිගනිමි. ඇනෝනිමස් කමෙන්ට් දැමීම "දියත් කුලේ අපි" හි ක්‍රියාත්මක කර ඇතිවාක් මෙන්ම comment moderate කිරීමක්ද මම සිදු නොකරමි. මෙසේ අතිශය පහත් අන්දමින් විවිධ වූ බ්ලොග්කරුවන්ගේ(උන්මන්තක, මලී, මකබාස් ) නම් විකුණමින් ඔවුන්ගේ අනන්‍යතාවය විනාස කිරීම තවත් බ්ලොග්කරුවෙකු ලෙස මම හෙළා දකිමි. මින් පසුව වැටෙන එවැන් කමෙන්ට් මගේ නම විකුණමින් වුවද වැටීමට ඉඩ ඇත. කිසිවෙකු සටහනක ලියන්නේ ඔහුට/ඇයට අවශ්‍ය දේය තමා එයට කැමති නැත්නම් කරුණාකර එය බැලීමෙන් වලකින්න. මා අදාල පුද්ගලයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙසේ බ්ලොග්කරුවන් මර්දනය කිරීමෙන් වලකින ලෙසය. සාක්ෂි අවශ්‍ය නම් මගේ කලින් සටහන හෝ මලීගේ සටහන බැලිය හැක.