8.09.2010

ප්‍රකාශ විද්‍යාව.

උඩුකුරු
වස්තුවට වඩා විශාල
වෙලා තිබුන
ප්‍රතිබිම්බයක..
ආදරය කියලා අකුරු හතරක්
මකුලු දැල් කඩලා
එලියට ගන්න කොට
පාර්ශ්වික අපවර්තනය වෙච්ච
වස්තුවට වඩා කුඩා
යටිකුරු
අකුරු හතරක් එක්ක
තවත් සෙල්ලම් කරන්න 
බෑ කියලා තේරෙන්න ගත්තා....
සොරි....

7.25.2010

අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය.

හැම උදේම අලකාලයි, පරප්පු කාලයි කන්න පෙට්ටි කඩේට ගොඩ වැදුනත් බාලා අයියා නැති දවසක ඇරෙන්න බාලා අයියා නැති අඩුව පෙට්ටි කඩේට එන අපිට දැනුනානම් දැනුනේ බාලා අයියා පාන් වල බටර් ගාන්න ගිය වෙලාවෙ කුමාර තට්ටුවට ආවොත් විතරයි කියලා කිව්වොත් හරියටම හරි. ඒ වගේ දවසක ඉඳලා හිටලා බාලා ලඟට කිට්ටු කරන දෙන්නෙක් තුන්දෙනෙක් “බාලා තට්ටුවට යනවකෝ“ කියලා නොකියනවාත් නෙමෙයි. ඒත් බාලා අයියා කවදාවත් බටර් ගාන එක දාලා තට්ටුවට ඇවිත් නම් නෑ. බාලා අයියා සිංහල හොඳට පුළුවන් දෙමලෙක් ඒත් බාලා තරම් සිංහල මිනිස්සු මම ආශ්‍රය කරලා නෑ අනික බාලා අයියාගෙයි මගෙයි සිංහල කතාකිරිල්ල බලලා දෙමලා කවුද ඇහුවොත් කවුරුහරි මගේ දිහාට ඇඟිල්ල දික්කලත් මම පුදුම වෙන්නෙත් නෑ..
         වෙලාව හවස 7වෙන්න ඇති.. රාජගිරියේ හෝල්ට් එකේ ඉඳන් ඈත පේන පාර කෙලවර දිහා 174 බස් එකක් මතුවෙනකම් බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. මම ජීවිතේ වැඩිපුරම බලාගෙන ඉන්න ඇත්තේ ෆයිල් ඩවුන්ලෝඩ් වනකනුයි මේ ජරා බස් එනකනුයි වෙන්න ඇති. ඒ වෙලාව මම ඉතුරුකරගත්තානම් මට කරන්න තියෙන වැඩ මොනවද කියලා මම කල්පනා කලා. එහෙනම් මට රටට වැඩදායක පුරවැසියෙක් වෙන්නත් තිබුනදත් මන්දා.. වාසනාවට මම වැඩ ලිස්ට් එක හදන අස්සෙ 174 බස් එකක් ඇවිත් නතර කලා. විනාඩි දහයක් විතර බස් එක නතර වෙලා තියෙන බව දැන දැනත් ඇතුලේ සීට් නැති බව පෙනි පෙනිත් කට්ටිය බස් එකට නගින්න පොර කනවා. මමත් මුලින් පොරේට එකතුවෙලා හිටියත් පස්සෙ ඒක අතෑරලා හදිස්සි කාරයින්ට ඉඩදීලා බලන් ඉඳලා බස් එකට ගොඩවුනා. බස් එක ගමන් ආරම්භ කලා..
යාන්තම් බත්තරමුල්ලේදි සෙනග අඩුවුන හින්දා අතපය දිගෑරගන්න අවස්ථාවක් හම්බවුනා. ඒත් කිලෝමීටරයක් යන්නත් කලින් හදිසියේම බස් එක නැවැත්තුවා.
මොකද්ද අංකල් සීන් එක
මම එහා පැත්තේ අංකල් ගෙන් ඇහුවා.
බස් එක පොලීසියෙන් අල්ලලා
හයිස්පීඩ්ද..? කියලා එහා පැත්තේ හිටපු පොර කෝචොක් එකට වගේ අහලා අහක බලා ගත්තා.

ටිං ටිං ටිං .... පලවෙනි බෙල් එක..
මේක මේ ඩැයිවරයටයි කොන්දොස්තරටයි..
දාඩිය පිසදාමින් ඛන්ති පාරමිතාව පුරන මගේ දැහැන බිඳුනේ මහ හයියෙන් කෑ ගහපු ඒ සද්දෙට.
“හත්තිලව්වයි බාලා අයියා. මේ යකා බීලාවත්ද. මට එක පාරට එහෙම හිතුනා.“
බස් එක පොලීසියෙන් අල්ලලා නතර කරලා. ඒක බස්කාරයාගේ වැරැද්දද. මෙතන මිනිස්සු කීයක් ඉන්නවද? සීට් ගාන 50 අමතරව තව විස්සක් විතර හිටගෙන එතකොට ඔක්කොම 70 මුන් මේ 70 ක කාලය විනාස කරන්නේ එක්කෙනෙක්ගේ විනාඩි විස්ස ගානේ ඔක්කොම විනාඩි 1400 ඒ කියන්නේ දවසක් විතර. මුන් දවසක් විනාස කරලා දානවා. මෝඩ හරක්...
බාලා අයියා මුළු බස් එක අමතන සද්දෙ ඉස්සරහා සීට් එකේ හිටපු හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති.
ආ මේ අපේ කොම්පියුටර් මහත්තයානේ...
මම බාලා අයියාට හිනාවක් දමා බස් එක සිසාරා බැල්මක් එල්ල කලේ වෙන අඳුනන කවුරුත් බස් එකේ ඉන්නවද කියලා බලන්නත් එක්ක.
         පිටිපස්සේ සීට් එකේ කොනේ හිටි තරුණිය සිය පෙම්වතාගේ උරහිසට හේත්තු වී බස් එක කලින් යවන්නට හදන බාලා අයියාට දෙස් දෙවොල් තබනවා විය යුතුය. බහුතරයක් දෙනා බාලා අයියා කියන දේ අසමින් එහෙත් ඒ බව නොපෙන්වමින් සිටීමට උත්සාහ කරන බව පෙනුනි. ඉස්සරහා සීට් එකේ හාමුදුරුවන් ඇතුළු කීප දෙනෙකු නිදිය. බාලා අයියාට පිටිපස්සේ සීට් එකේ මලයා ඉයර්ෆෝනයක් කනේ ගහගෙන එලියේ වාහන ගනන් කරයි.
ටිං ටිං ටිං... දෙවෙනි බෙල් එක....
මේක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට..
ඩ්‍රයිවින් කරන කොට හැප්පෙනවා තමා. ඒක හරි. ඒත් මේ බස් එකේ ජීවිතේ පලවෙනි වතාවට 174 යන අය කීදෙනෙක් ඉන්නවාද? උන් දන්නවානේ මේ බස්වල හැටි. ඒත් මේ මිනිස්සු හරි හොඳයි.  කම්පියුටර් මහත්තයා දන්නවනේ මම වාරිමාර්ගේ.. සර්විස් එක අවුරුදු තිස්පහයි ඒත් අපි මහත්තයාලාගේ වයසෙදි මීට වඩා ලස්සනට අපි බස්වල ගියා. ඒකයි අපිට තරහා යන්නේ..
අපි කාට කියන්නද ?
ඇමතිතුමාට කියන්නද ?
බස් අයිතිකාරයාට කියන්නද ?
ප්‍රශ්න අහන්නේ මම දිහා බලාගෙනය ඒත් ප්‍රශ්න යොමුවන්නේ බස් එකේ සමස්තය වෙතය. පසුපස පේලියට බාලා අයියාගේ වගක් නැත. පෙර කී තරුණිය සිය පෙම්වතාගේ කණ අතගායි. සිද්ධාර්ථගේ මෙන් නැතත් බාගෙට ලම්බකර්ණ වී ඇති තරුණයා වීදුරුවෙන් එලිය බලා සිටී.. පිටිපස ඉතුරු තිදෙනා වෙන කතාවකය.. ඔවුන්ටත් මේ ප්‍රමාදයේ වගක් නැත. කිහිප දෙනෙක් බාලා අයියාට හිනාවෙයි. බාලා අයියා ගේ අසුන පිටිපස ඉඳගෙන අපේ නංගිගේ වයසේ විතර හීන්දෑරි තරුණියක් මම දිහා බලාගෙන කරපු ආනාපානා සතිය මම ඒ පැත්ත බලනවාත් එක්ක එලියට එල්ල වුනේ ලැජ්ජාව හින්දා වෙන්න ඇති. බාලා අයියා අඳුනන්නේ මේ බස් එකෙන්ම මම විතරය. බස් එකේ බාලා අයියා පමණක් නොව මම ද කැපී පෙනෙන චරිතයක් වෙන්නට එය හේතුවක් වී ඇත. එකෙකුවත් බාලා අයියාට සවන්දෙන පාටක්ද නැත.
ටිං ටිං ටිං... තුන්වෙනි බෙල් එක...
මේක මේ බස් එක අද්දන්න...
මට නම් දැන් හොඳටම ඇතිවෙලා. මේක පුදුම කාලකන්නිකමක්. ලංකාවේ ඉන්නේ මහ පොල් බූරුවෝ රැලක්. එක්කෝ මුන් රහත් වෙලා නැත්නම් මුන්ට හෙණ ගහලා. බාලා අයියාගේ රතු කට්ට පැන ඇත.
විසිදෙනෙක් විතර බාලා අයියාට රවනවා මම දිටිමි. මම බාලා අයියාගේ වචනයක් පාසා බස් එකේ මිනිසුන්ගේ වෙනස නිරීක්ෂණය කරමි.
පිටුපස අසුනේ තරුණිය සිය පෙම්වතාගේ දෑස් දෙස බලාගෙන සිටියි. පිටුපස පේලියේ තිදෙනාගේ වාදය තවමත් ඉවර නැත.  ඉයර්ෆෝන් මල්ලි එක කනක් ගලවා මදක් බස්එකට සවන් යොමුකර නැවත එය කණේ රඳවා ගත්තේය. නිදිගත් අයද තාමත් නිදිගත් වනම සිටිති. තවත් දහදෙනෙක් විතර කොන්දොස්තරගේ ආගමනයත් සමග නින්දට වැටී ඇත.

අන්තිමට බස් එක ඉදිරියට  ඇදෙන්නට විය.

6.23.2010

අනේ මහතුනේ පිනට යමක්..


මැහැල්ලකි...
අයැදීය
අනේ මහතුනේ පිනට යමක්..
වැටේද..?
ඉඳහිටවත් මුදලක්
අතරැඳි බඳුනට...
ජසිරි බෝමැඩට යන
මල් දෝතක් පුරවා
සුන්දර දේහමත වැජඹුන
විතරාගය මුසුවූ
දෑත්
දිගුවූයේද...?
ඈ වෙත
කරුණාවෙන්...
ශ්‍රද්ධාව උතුරා යන
කාන්තිමත් දෙනෙත්
බැලුවේද...?
ඈ දෙස
අනුකම්පාවෙන්...
සනාතන දම් තෙපලූ 
රත් පැහැ දෙතොල්..
විවරවීද ඈ හට
මෘදුව...
දැන දැනම එය අයැදීය ඈ...
‘අනේ මහතුනේ පිනට යමක්‘

6.09.2010

අවාසනාවට මට හඬන්නට නොහැකි විය..

දකුණු පැත්තේ උරහිසින් පහලට වැටුන මගේ සයිඩ් බෑගය කලවේ වැදීමෙන් තිබුන කරදරය මගහරවා ගැනීමට මම බෑගයේ පටිය මහපටැඟිල්ලෙන් ඔසවා නැවත උරහිසට දමාගතිමි. බස්ර‍ථයේ රියදුරු මම බලාපොරොත්තු වූවාට වඩා කලින් මාව ඇරලවා ඇත.
"දමිත් ර‍ණවක"
පොන්ටින් කට් එකක් එක්ක ලාවට කෘන්තක දත් දෙකක් පේන්න හිනාවෙලා ඉන්න මූ‍ණ පැත්තෙන් අවමංගලා‍ධාර සමිතියේ නිවන් සැ‍ප ලැබේවා යන වචන තුන කළුපාටින් ඇඳ තිබුනි.

"මාත් එක්කම ලයිෂන් එක ගන්නකොට ගත්තු පොටෝ එක..."

මම හිතේ තිබුන ‍ඡායාරූපය සමග බැනරයේ තිබුන ඡායාරූපය සංසන්දනය කර අදහස ස්‍ථිර කර ගතිමි.‍
"නෙළුව හන්දියේ ඉඳන් කිලෝමීටර එක හමාරක් විතර ආවම නන්ද ස්ටෝර්ස් කියලා කඩයක් ඇති අයියා එතන ඉස්සරහ පාරෙන් පල්ලෙහාට බහින්න."
දමියා ගෙන් මම අසාගත යුතුව තිබූ මාර්ග සලකුණු මට නවෝදා නංගිගෙන් අසා ගැනීමට සිදුවී තිබුනි .

මම ජීවිතේ පලවෙනි සිගරට් එක බිව්වේ දමියා සමගය. එදා දමියා කහිනු දැක සිනාසුනු මගේ සිගරට් එක නිවුනේ මම කබරයෙකු දැමීමත් සමගය.
"තනියම සිගරට් බොන්න එපා බං බොන එකක් මාත් එක්ක බීපං සිගරට් බොන එකේ ඩයලොග් එක රසවිඳපන්. තනියම බිව්වත් තමන් එක්ක හරි කතා කර කර බීපං‍. කවදා හරි දවසක අපිත් එක්ක තනි රකින්න ඉතුරුවෙන්නේ මූ විතරයි බං." 
දමියා දුම දිහා බලාගෙන එසේ කිව්වා මතකය.

අළුත ගොයම් කපා තිබූ ලියද්ද මත එලදෙනක් උලාකයි. මම අවුරුදු විස්සක් තුල ඒමට අතපසු කල ඒ ගමන අද දමියා විසින් මට එන්නට සිද්ද කර ඇත.‍
         මග කඩේකින් සිගරට් එකක් පත්තුකරගෙන එලියට බහින විට මම කිලෝමීටර බාගයක් විතර ඇවිත් තියෙන්න ඇති.මම සිගරට් එකත් ඇද ඇද නැවත නන්ද ස්ටෝර්ස් සොයා ඉදිරියට ඇදෙන්නට විය.
"මම සිගරට් එකට මෙච්චර කැමති මේකෙ දුම ඇතුලට ඇදලා රත්වෙලා තියෙන බොක්කට ගන්න පලවෙනි හුස්ම මාර කූල් එකක් තියෙන හින්දා හරියටම කියනවානම් ඒකෙ තියෙන්නෙ මාර මෙව්වා එකක්. "
මම සිගරට් උගුරක් ඉහලට ඇද පිටකර පසුව ගැඹුරු හුස්මක් ඉහලට ඇද දමියාගේ මෙව්වා එක සෙවීමට තැත් කලෙමි.
          දුම්රියේ රෝදය දමියාගේ බඩ උඩින් ඇදීගොස් තිබුනි. අවාසනාවට දමියාව අඳුනාගන්නට සිදුවූයේ මටය. එතැන් පටන් මේ මොහොත දක්වාම දමිත් රණවක නම් ද්‍රෝහියාට දෙස් දෙවොල් තබමින් මම ඇවිදගෙන යමින් සිටිමි.
"වල් පරයා වගේ කො‍ණ්ඩේ වවන්නේ නැතුව ඕක කපලා දාපං. ඔයිට වැඩිය දේවල් මිනිස්සුන්ට වෙනවා."
"නෑ බං මම මේ වවන්නේ අවුරුදු තුනක් තිස්සේ වවන්න බැරිවුන මගේ ඇරියස් එක බං" 
උගේ මරණයට සතියකට පෙර මම කියපු කතාවට පිලිතුරු විදිහට මට මේ ගමන එන්න සිද්ද කල ඒ පරයා  සිනාසෙමින් එහෙම කිව්වා මතකය.
"ලව් කියන එක හිතුවට වඩා අමාරුයි බං ඒකි එක්ක හිටපු හැම තත්පරේම ඔළුවෙන් අයින් කරන්න එක්කො මම දවසම බඩු ගහන්න ඕනි, නැත්නම් උදේ පාන්දරම බීලා සිගරට් බිබී වෙරි බහින්න නොදී තියාගන්න ඕනි, නැත්නම් කෝච්චියට පනින්න ඕනි‍ මෙහෙම කරනකොට ඉවරයි."
මැදගිල්ලත් මාපටැඟිල්ලත් එකට තබා ටක් ගාලා සද්දයක් දාමින් දමියා කිව්වේ වියරු සිනාවක් එක්කය
අවසානයේ දමියා අවසාන තීරණය ක්‍රියාත්මක කර ඇත. මට දුකකට වඩා ඇත්තේ කේන්තියකි.‍එය‍ නිමා නොවන කේන්තියකි.. මම බසය තුල කිලෝමීටර දෙසිය ගාණම පසුකලේ ඒ කේන්තියෙන් පැසවමිනි.

නන්ද ස්ටෝර්ස් එක පහල පාරෙ ලයිට් කණුවකට ඉණිමගක් තබාගෙන සුදු පොලිතීන් කොඩි වැලක් ගැට ගසන මාමා කෙනෙකු
"පුතේ ඇතුලට යන්න"
යැයි පැවසුවේ මාව අඳුරගෙනද නැත්නම් මනුස්සකමටද කියලා මට තේරුනේ නැත.

"අප්පා මම මලොත් නම් මිනිය දවසකට වඩා තියාගන්න දෙන්නෙ නෑ.."
"එතකොට මිනිය දවසකට වඩා තියාගන්නවාද කියලා බලන්නඋඹ ජීවත් වෙලා ඉන්නවද බලපංකො.."
මම දමියා කියපු කතාවට එහෙම කින්ඩියක් දැම්මා මතකය..

අන්දර වවා තිබුන වැට මැද කළුපාට ගේට්ටුවෙන් ඇතුලට යනකොට රතුම රතු පාට තාම කඳුලු හරියට වේලිලා නොතිබුන නවෝදා නංගිගේ දෙනත් මාව සොයාගෙන තිබුනි.
"යං අයියේ ඇතුලට..!"
මම සෙරෙප්පු දෙක ගලවා ඇතුලට අඩිය තිබ්බෙමි..
අභයගේ මගුලටවත් කෝට් එකක් නොදැමූ දමියා කෝට් එකක් දමා මද සිනාවෙන් යුක්තව වැතිරගෙන සිටී.. ‍
"වල් පරයා" 
ඇත්තටම මට අඬන්නට වුවමනා වී තිබුනි. අවාසනාවට මට හඬන්නට නොහැකි විය..