වෙලාව හවස 7වෙන්න ඇති.. රාජගිරියේ හෝල්ට් එකේ ඉඳන් ඈත පේන පාර කෙලවර දිහා 174 බස් එකක් මතුවෙනකම් බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. මම ජීවිතේ වැඩිපුරම බලාගෙන ඉන්න ඇත්තේ ෆයිල් ඩවුන්ලෝඩ් වනකනුයි මේ ජරා බස් එනකනුයි වෙන්න ඇති. ඒ වෙලාව මම ඉතුරුකරගත්තානම් මට කරන්න තියෙන වැඩ මොනවද කියලා මම කල්පනා කලා. එහෙනම් මට රටට වැඩදායක පුරවැසියෙක් වෙන්නත් තිබුනදත් මන්දා.. වාසනාවට මම වැඩ ලිස්ට් එක හදන අස්සෙ 174 බස් එකක් ඇවිත් නතර කලා. විනාඩි දහයක් විතර බස් එක නතර වෙලා තියෙන බව දැන දැනත් ඇතුලේ සීට් නැති බව පෙනි පෙනිත් කට්ටිය බස් එකට නගින්න පොර කනවා. මමත් මුලින් පොරේට එකතුවෙලා හිටියත් පස්සෙ ඒක අතෑරලා හදිස්සි කාරයින්ට ඉඩදීලා බලන් ඉඳලා බස් එකට ගොඩවුනා. බස් එක ගමන් ආරම්භ කලා..
යාන්තම් බත්තරමුල්ලේදි සෙනග අඩුවුන හින්දා අතපය දිගෑරගන්න අවස්ථාවක් හම්බවුනා. ඒත් කිලෝමීටරයක් යන්නත් කලින් හදිසියේම බස් එක නැවැත්තුවා.
මොකද්ද අංකල් සීන් එකමම එහා පැත්තේ අංකල් ගෙන් ඇහුවා.
බස් එක පොලීසියෙන් අල්ලලාහයිස්පීඩ්ද..? කියලා එහා පැත්තේ හිටපු පොර කෝචොක් එකට වගේ අහලා අහක බලා ගත්තා.
ටිං ටිං ටිං .... පලවෙනි බෙල් එක..දාඩිය පිසදාමින් ඛන්ති පාරමිතාව පුරන මගේ දැහැන බිඳුනේ මහ හයියෙන් කෑ ගහපු ඒ සද්දෙට.
මේක මේ ඩැයිවරයටයි කොන්දොස්තරටයි..
“හත්තිලව්වයි බාලා අයියා. මේ යකා බීලාවත්ද. මට එක පාරට එහෙම හිතුනා.“
බස් එක පොලීසියෙන් අල්ලලා නතර කරලා. ඒක බස්කාරයාගේ වැරැද්දද. මෙතන මිනිස්සු කීයක් ඉන්නවද? සීට් ගාන 50 අමතරව තව විස්සක් විතර හිටගෙන එතකොට ඔක්කොම 70 මුන් මේ 70 ක කාලය විනාස කරන්නේ එක්කෙනෙක්ගේ විනාඩි විස්ස ගානේ ඔක්කොම විනාඩි 1400 ඒ කියන්නේ දවසක් විතර. මුන් දවසක් විනාස කරලා දානවා. මෝඩ හරක්...බාලා අයියා මුළු බස් එක අමතන සද්දෙ ඉස්සරහා සීට් එකේ හිටපු හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති.
ආ මේ අපේ කොම්පියුටර් මහත්තයානේ...මම බාලා අයියාට හිනාවක් දමා බස් එක සිසාරා බැල්මක් එල්ල කලේ වෙන අඳුනන කවුරුත් බස් එකේ ඉන්නවද කියලා බලන්නත් එක්ක.
පිටිපස්සේ සීට් එකේ කොනේ හිටි තරුණිය සිය පෙම්වතාගේ උරහිසට හේත්තු වී බස් එක කලින් යවන්නට හදන බාලා අයියාට දෙස් දෙවොල් තබනවා විය යුතුය. බහුතරයක් දෙනා බාලා අයියා කියන දේ අසමින් එහෙත් ඒ බව නොපෙන්වමින් සිටීමට උත්සාහ කරන බව පෙනුනි. ඉස්සරහා සීට් එකේ හාමුදුරුවන් ඇතුළු කීප දෙනෙකු නිදිය. බාලා අයියාට පිටිපස්සේ සීට් එකේ මලයා ඉයර්ෆෝනයක් කනේ ගහගෙන එලියේ වාහන ගනන් කරයි.
ටිං ටිං ටිං... දෙවෙනි බෙල් එක....
මේක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට..
ඩ්‍රයිවින් කරන කොට හැප්පෙනවා තමා. ඒක හරි. ඒත් මේ බස් එකේ ජීවිතේ පලවෙනි වතාවට 174 යන අය කීදෙනෙක් ඉන්නවාද? උන් දන්නවානේ මේ බස්වල හැටි. ඒත් මේ මිනිස්සු හරි හොඳයි. කම්පියුටර් මහත්තයා දන්නවනේ මම වාරිමාර්ගේ.. සර්විස් එක අවුරුදු තිස්පහයි ඒත් අපි මහත්තයාලාගේ වයසෙදි මීට වඩා ලස්සනට අපි බස්වල ගියා. ඒකයි අපිට තරහා යන්නේ..
අපි කාට කියන්නද ?ප්‍රශ්න අහන්නේ මම දිහා බලාගෙනය ඒත් ප්‍රශ්න යොමුවන්නේ බස් එකේ සමස්තය වෙතය. පසුපස පේලියට බාලා අයියාගේ වගක් නැත. පෙර කී තරුණිය සිය පෙම්වතාගේ කණ අතගායි. සිද්ධාර්ථගේ මෙන් නැතත් බාගෙට ලම්බකර්ණ වී ඇති තරුණයා වීදුරුවෙන් එලිය බලා සිටී.. පිටිපස ඉතුරු තිදෙනා වෙන කතාවකය.. ඔවුන්ටත් මේ ප්‍රමාදයේ වගක් නැත. කිහිප දෙනෙක් බාලා අයියාට හිනාවෙයි. බාලා අයියා ගේ අසුන පිටිපස ඉඳගෙන අපේ නංගිගේ වයසේ විතර හීන්දෑරි තරුණියක් මම දිහා බලාගෙන කරපු ආනාපානා සතිය මම ඒ පැත්ත බලනවාත් එක්ක එලියට එල්ල වුනේ ලැජ්ජාව හින්දා වෙන්න ඇති. බාලා අයියා අඳුනන්නේ මේ බස් එකෙන්ම මම විතරය. බස් එකේ බාලා අයියා පමණක් නොව මම ද කැපී පෙනෙන චරිතයක් වෙන්නට එය හේතුවක් වී ඇත. එකෙකුවත් බාලා අයියාට සවන්දෙන පාටක්ද නැත.
ඇමතිතුමාට කියන්නද ?
බස් අයිතිකාරයාට කියන්නද ?
ටිං ටිං ටිං... තුන්වෙනි බෙල් එක...විසිදෙනෙක් විතර බාලා අයියාට රවනවා මම දිටිමි. මම බාලා අයියාගේ වචනයක් පාසා බස් එකේ මිනිසුන්ගේ වෙනස නිරීක්ෂණය කරමි.
මේක මේ බස් එක අද්දන්න...
මට නම් දැන් හොඳටම ඇතිවෙලා. මේක පුදුම කාලකන්නිකමක්. ලංකාවේ ඉන්නේ මහ පොල් බූරුවෝ රැලක්. එක්කෝ මුන් රහත් වෙලා නැත්නම් මුන්ට හෙණ ගහලා. බාලා අයියාගේ රතු කට්ට පැන ඇත.
පිටුපස අසුනේ තරුණිය සිය පෙම්වතාගේ දෑස් දෙස බලාගෙන සිටියි. පිටුපස පේලියේ තිදෙනාගේ වාදය තවමත් ඉවර නැත. ඉයර්ෆෝන් මල්ලි එක කනක් ගලවා මදක් බස්එකට සවන් යොමුකර නැවත එය කණේ රඳවා ගත්තේය. නිදිගත් අයද තාමත් නිදිගත් වනම සිටිති. තවත් දහදෙනෙක් විතර කොන්දොස්තරගේ ආගමනයත් සමග නින්දට වැටී ඇත.
අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය.

19 comments:
"අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය"..තමන්ට කියාගන්න බැරි ටික වෙන එකෙක් කියන කොටත් ඔරවන එක තමා දිරවන්නේ නැත්තේ....:(.....
මේක නම් මැක්ශා තමයි ඉතින්... වෙන වචන හොයා ගන්න නෑ
උඹ ලියන එව්වට එල, සිරා, පට්ටයි, නියමයි, මරු කියලම එපා වෙලා.මට ඒත් හිතුනා "ටිං ටිං ටිං" වෙනුවට තරු පේලියක් ආවනං හොඳයි කියලා.
හිතට ඇල්ලුවෙම මේ කෑල්ල.
"ආ මේ අපේ කොම්පියුටර් මහත්තයානේ... මම බාලා අයියාට හිනාවක් දමා බස් එක සිසාරා බැල්මක් එල්ල කලේ වෙන අඳුනන කවුරුත් බස් එකේ ඉන්නවද කියලා බලන්නත් එක්ක."
වෙනසකටත් එක්ක අද මැක්සා කියලා කියන්නන්.වෙනදට කියලම නෑ එහෙම!
මරු.
(මෙය සම්පූර්ණයෙන්ම කියවා බලා දැමූ කමෙන්ටුවකි.)
:D
ඕං අදයි ඉස් ඉස්සෙල්ලාම කමෙන්ටුවක් දාන්නෙ.... 174 බස් ගමනනම් හරි ආස හිතෙන ගමන නේද?
බාලා මොකද මේ පැත්තේ කතාවෙ ඉන්නෙ ඔය බාලා අයියද දන්නේ නෑ...
අපේ මිනිස්සු දෙයක් දැක්කට කතා කරන්න බයයි... කතා කරන එක දිහා කින්ඩියට බලල හිනා වෙන්න නම් දන්නවා....
ඇයි උබ බස් එක දිහා බැලුවෙ " කොම්පුටර් මහත්තයනේ " කිව්වම... හි හි...
ලියපු විදිය නියමයි... හිතේ මැවෙනවා සිදුවීම.
Yako umba owa gena nohitha ara umba diha balagena hitapu nangi gena poddak hithuwa nam iwaraine...
පට්ට වෙන මොනවද කියන්නද
ඇත්තටම අපි නිමිච්ච මිනිස්සු අපි තමා අපිට වෙන අසාධාරණ වලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි එවුන්. අපි හැමවෙලේම අපිට සාධාරණත්වයක් ඉටුකරයි කියලා බාහිර පුද්ගල චරිත වලින් බලාපොරොත්තු වෙනවා... ඒකයි අපේ පොදු අවුල..
හ්ම්..බස් කතා..පොතක්ම ලියන්න පුළුවන් බස් කතා ලිව්වොතින්..
චෝක් කතාව.. (මෙහෙම කිව්වේ ඔක්කොමලා එළ, සිරා, පට්ට, නියමයි හැමදෙයක්ම කියලා තියෙන නිසා)
ඔය බස්එකේ හිටපු අය තමා මේ රටේ උගත් බුද්ධිමත් ඡන්දදායකයෝ.
ඉතින් රටත් ඔහොම තමයි.
(අපේ මූලිකම අයිතිවාසිකම් පවා නොඉල්ලනවා විතරක් නෙමේ, ඒවා දෙන්න කියලා සුද්දො කියද්දි අපි එපා කියලා පෙලපාලිත් යනවා)
Hodata liyala thiyenawa machan. niyamai...
මම මේක කියවලා කොමන්ට් එකක් දැම්මා. කෝ දැන් ඒක නෑනේ...
ITකාරයෙක් වෙන්න නෙමෙයි ඔයාට තිබ්බේ මල්ලි.සාහිත්‍යකාරයෙක් වෙන්න.. ඒ තරම් මට නම් මේ සටහන්...
"මම ජීවිතේ වැඩිපුරම බලාගෙන ඉන්න ඇත්තේ ෆයිල් ඩවුන්ලෝඩ් වනකනුයි මේ ජරා බස් එනකනුයි වෙන්න ඇති."
දවසේ කතාව... ඕක කොම්පියුටර් කාරයෝ කාටත් පොදුයි... ඇයි තව ඩෙස්ක්ටොප් එක එනකං, ආයේ... සේව් වෙනකං එහෙමත් මං බලං ඉඳලා තියෙනවා...
කතාවනං සුපිරියි.
"සිතන්නට දෙයක්" යටතේ වර්ග කරපු එක වටිනවා.
දියත් කුලේට මගේ ආගමනය සිද්ද වුනේ අදයි. අද ඉඳලා මමත් "අපි" ගොඩේ. කමක් නැද්ද මන්දා?
බස් වල යනවට අපිට ගානක් දෙන්න වටිනවා. ඒතරම් කම්බස් වෙන වැඩක්. කෙල්ලො අපිටනම් දත් මිටි කාගෙන යන්න වෙලා තියෙන්නේ වෙන වැඩ වලට.
හප්පා කමක් නැද්ද කියලා අහන්නේ මොකටද මන්දා...
එච්චර නම් බියකරු අත්දැකීමක් මට මතක ඇති කාලෙක වෙලා නැද්ද මන්දා කුෂාන් අයියේ
බස් කතා ඇත්තටම ලියනවානම් පොතක් ලියන්න පුළුවන් බස් කතා කියලා. කට්ටිය එකතු වෙලා බස්කතා කියලා බ්ලොග් එකක් පටන් ගමුද.. ? හික් හික් හික්...
සම්පූර්ණයෙන්ම කියෙව්වා.. එලම තමා..
කියල වැඩක් නෑ..මැක්සා
ඒකයි ලියල යන්නෙ ;)
අදමයි මෙ පැත්තෙ අවේ..ඇතතටම කියපු විදිහට අර බලාගෙන හිටපු නන්ගි ගැන හිතුවනම් හොදද මන්දා...
Post a Comment