8.03.2012

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ආච්චි මතක් කරන නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා තවමත් මට නිච්චයක් නැත. කෙසේ වෙතත් අපි එකල ඩිංගිරි ආච්චිට බයවීමු.

ගඳපාන ගාලවලින් පිරුනු විදාන වත්තේ ඩිංගිරි ආච්චිගේ වරිච්චි ගෙදර තිබුන ඉඩ ප්‍රමාණය පමණක් එලි කර තිබුනි. පහල කුඹුරු යායත් විදානවත්තත් බෙදාවෙන්කරන ඇල්බීසියා වැටේ සාදාගත් සිදුරකින් ගඳපාන ගස්වලින් පාදාගත් ගඳපාන ගුහාවලින් ඩිංගිරි ආච්චිගේ මන්තරකාර වැඩගැන ඔත්තුබැලීම පාසල් ඇරී ගෙදර ආවාට පසු අපගේ මූලික කාලසටහනට ඇතුලත්ව තිබුන ක්‍රියාවලියකි. 

විටක ඩිංගිරි ආච්චි කළුපාට මුට්ටියකට හාල් දමා ලිපේ තබයි. පසුව ලිප ලඟ ඇණ තබාගෙන මොනවදෝ ගින්දර වලට මතුරයි. 
" ඹය බත්වලට මතුරන්නේ අපිව මරන්න. ඔය බත් කෑවම කටින් ලේ දාගෙන මැරිලා වැටෙනවා. " 
නුවන්ගේ ඒ කතාව දැන් මතක්වනවිට සිනහ නැගුනත් එවෙලේනම් මම බයවුනා මට තාමත් මතකය. 

ඩිංගිරි ආච්චිගේ ගේ ඉදිරිපස තිබූ පිණිජම්බු ගසේ ගෙඩි කැඩිය යුත්තේ හවස පහත් හයත් අතර ඩිංගිරි ආච්චි විදාන වත්තෙන් පිටවූ වෙලාවක පමණි. වෙනත් වෙලාවක ජම්බු කෑම පිණිජම්බු ගසේ සිටින බහිරවයා නුවනයාගෙත් මගෙත් බොටුව කඩාගෙන ලේ බීමට හේතුවක් වනු නිසැකය. 

මේ මට මේ වෙලාවේ මතකයට නගා ගත හැකි සිද්ධි දෙකකි. මීට වඩා අනන්තවත් දේවල් විදානවත්ත තුල සිදුවුනත් මට ඒවා දැන් මතකයට නගාගත නොහැක්කේ මම ඒවා අමතක කර ඇති නිසාද නැත්නම් මට ඒවා මතක තියාගැනීමට වුවමනාවක් නොවූ නිසාදැයි මම නොදනිමි. 

කෙසේ වෙතත් පහවසර ශිෂ්‍යත්ව විභාගයට සමත් වීම නිසා ඩිංගිරි ආච්චිගේ වැඩ ගැන සෙවීමට පත්කල ඔත්තුකරුවන් දෙදෙනා රොබින්හුඩ්ට අහිමිවිය. 

මම නිවාඩුවට ගෙදර එනවිට විදානවත්ත එතන තිබුනේ නැත.

................................................................................................................................................................. 

පෝය දවසේ රෙදි ටික හෝදා දමා හෙඩ්ෆෝන් එකත් එක්ක දුමක් දමාගෙන දුමේ හැංගිලා හෙඩිෆෝන් එකේ වයර් දිගේ මගේ කන් දෙකට ආපු පහල සින්දුවත් එක්ක මම ආයි ඩිංගිරි ආච්චිගේ මතකය එක්ක සෙල්ලම් කරන්න ගත්තා. ඒක ඉවර වුනේ මේ පෝස්ට් එකත් එක්ක. 



බැලූ සැමට ස්තූතියි.. 

7.24.2012

මාර්කෝ මම ඈන්..

මාර්කෝ උඹ කොහෙද? 
පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන 
මම උඹ එනකම් බලා ඉන්නවා. 
ජීවිතේ අතරමැද 
තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. 
මාර්කෝ කෝ උඹ. 
හැමදාම රෑට
වෙන පංචස්කන්ධයක තියෙන 
උඹේ හිතත් එක්ක
මම නිදි වදිනකොට
උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? 
මාර්කෝ.. 
දිස්නේ නැතිවෙන්න කලින්
මේ පිත්තල බොත්තම අරන් පලයන්.. 

මම 
ඈන්.. 

12.26.2011

විසබීජ..


"hope you will come back"
මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි.

෴෴෴෴෴෴෴෴෴

දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි.

විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්‍රථම වතාවට ස්ත්‍රියක හා යහන්ගත වුනෙමි.

෴෴෴෴෴෴෴෴෴

වතුර ටැංකියෙන් වැටෙන සීතල වතුර මගේ ශිර්ෂයෙන් පටන්ගෙන පාදයෙන් අවසන් වන සර්වාංගය දිගේ ඇති විසබීජ සමග මිශ්‍රවී වල වෙත ගලායයි. මෙය මෙතැනින් අවසාන කලයුතුව ඇත. මම දින හතරකට පසු ඇය සිහිවිය.
පිටතට එනවිට විජිතා ජනේලය දෙස බලාගෙන ඇයගේ බ්ලවුසයේ බොත්තම් දමයි.
"Its ok."
ඇය මාදෙස බලා සිනාවූවාය. ඇගේ ඉදිරිපස දත් දෙක අතර ඇති සිදුරෙන් මම ඇයගේ හදවතට එබීමට උත්සාහ කලෙමි. දෙවරක් තුන් වරක් උත්සාහ කල මම එය අතහැර දැමීමි.
       මේසය උඩ වාර්තාව සූදානම්ව ඇත. එහි පිටු අතරද විසබීජ රැඳී තිබීමට ඉඩ ඇත. නමුත් දැන් ඒවා පිරිසිදු කිරීමට ප්‍රමාද වැඩිය. මම ඉක්මනින් පිටත් විය යුතුය.

෴෴෴෴෴෴෴෴෴

තල් හකුරු සහ කොට්ට කිලංගු පාර්සලය මම ඇයගේ අතට දුනිමි..
"කෝ කෙල්ල නිදිද?"
"ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ සතියක් අපිව අමතක කලා කියලා"
ඇය සිනහ වේ. ඒ සිනහවද සුන්දරය. ඇගේ දත් අතර ඇති සිදුරෙන් හදවතට එබී බැලීමට මම කල උත්සාහය නැවතත් අසාර්ථක විය.
       මම මද සිනාවක් පා පොඩි එකී දැකීමටවත් පමා නොවී නාන කාමරය දෙසට ගමන් කලෙමි. ඉක්මනින් විසබීජ සියල්ල සෝදා හැරිය යුතුය. තවත් විසබීජ ඉතිරිව තිබුනහොත් පොඩි එකී ලෙඩවීමට ඉඩ ඇත.

11.25.2011

සැරද?

තුලාධර ගැහැණියගේ
කාලවර්ණ රෙදිපට
අහිමිකල..
සුද්දන්ගේ කෙලිය 
සුද්දන්ට වෙන්දේසිකල.. 
පැතිරවූ මුසාවට 
සම්මාන හිමිකල..
ත්‍රස්තයන් සමග නිදිවැද
මැක්කන් යවෙස් ලූ..
අපි.. 
සුරා සූදුවෙන් තොර 
ආශ්චර්යයක් කරා 
පියනගයි.. 
සැරද? 

11.08.2011

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.
තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය.

අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත.
එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ. 
තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි.
ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ. 
ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත. නමුත් බොනී මට විශේෂය.
බොනී මාමේ ඇස් පේන්නෙ නැති එක නිකං මොන වගේද?
මම එසේ ඇසුවේ අඳුරේ ජීවත් වීම ගැන තිබූ කුතුහලය බොනීගෙන් අසා තුරල් කරගැනීමට විය යුතුයි. මට අද වෙනතුරුත් මම එසේ ඇසුවේ ඇයිදැයි සිතාගන්නට නොහැක.
හහ් හහ් හහ්.. 
ස්වාභාවයෙන්ම බොනී අයියා සද්ද නගා හිනාවෙයි. මද සිනාවක් ගැන බොනී අයියා දන්නේ නැත. කින්ඩියට වුවද බොනී අයියා සද්ද දමා හිනාවෙයි. මූනිච්චාවට සිනාවක් තාම බොනී අයියා විසින් හොයාගෙන නොතිබුනි. එසේත් නැතිනම් එය මට දමා නැත.
හහ් හහ් හහ්... බොනී අයියා තාමත් සිනාසෙයි. 
ලසී.. ඒක නිකං ඇස් පේනවා වගේ තමා. හහ් හහ් හහ්.. 
ඇස් පෙනීම කොයි වගේද යන්න මම සිතීමට වෑයම් කලෙමි. ඇස් පෙනීම මේවගේ යැයි මට සිතාගත නොහැකිවිය. එතනින් අපේ කතාව සීමා විය.
බොනී මාමේ මම උඹ ගැන පත්තරේට ලිවුවා. 
මම එක දවසක් විහිළුවට බොනියාට එසේ කිව්වා මතකය..
අපෝ එහෙනම් උඹ ෂුවර් එකට මගේ ඇස්පේන්නේ නෑ කියලා ලියන්න ඇති. 
බොනී අයියා එදා සිනාසුනේ නැත. එය බොරුවක් කියා වැටහෙන තුරු සිනාසුනේ නැත.
        මම ලැපෙන් චිත්‍රපට බලන විට බොනි අයියා මම චිත්‍රපටි බලනවා යන්න ඇස් දෙකෙන් දකී. පසුව ඔහු චිත්‍රපටිය ගැන විස්තර මගෙන් අසාගනී. පසුව බොනි අයියා ඒ චිත්‍රපටිය හතරමං හන්දියේ හැමෝගේම කණේ තියයි. දිනක් මම බැලූ එහෙත් නොබැලූ "අයන් මෑන්" මම රසවින්දේ එසේය.
බොනී හතරමං හන්දියෙන් පුෂ්පාරාමේ පැත්තට එයි. ඇවිත් ලසී සහ ලක්ෂ්මන් සමග ෂොට් එකක් ගසා නැවත හතරමං හන්දියට ඇවිද යයි.
අපරාදේ.... මට ඒකාලේ බොනී අඳුරගන්න තිබුනේ.. බොනියාට ග්ලූකෝමා හැදුනේ නැතුව තිබුනානම්...
       මට එහෙම සිතුනි. එසේ නම් මෙය නොලියවෙනු ඇත...
                 බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..