7.04.2011

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“ 
හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි
“ මොනවා...! වෙන්න බෑ “ 
මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති
“ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “
මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ..
“ ජිනේ “
තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..
                ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා. හමීඩ් නම් කිව්වෙ ඒවා ජිනේ වරායෙන් පන්නන ඒවා කියලා ඒත් ඒක ඇත්තද බොරුද බලන්න කවදාවත් ඒ ප්‍රශ්නෙ මට ජිනේගෙන් අහන්න බැරිවුනා.
“ අල ගෝනි කරනවා.. චන්ඩියා මෙල්ල කරනවා “
ජිනේ කෑමොර දෙනවා. මට ඈතින් දකිද්දි පොඩි කුතුහලයක් දැනුනත් ලඟට ගියාම ජිනේ විකුනන දේවල් දැක්කාම කටට ආපු හිනාව තදකරගත්තේ තාත්තා හිටපු නිසා. තාත්තට ගානක්වත් නෑ..
එදා ඉඳන් දවස් පහ හයක් ජිනේ හම්බ වුනත් මට ජිනේ එක්ක කතාකරන්න වුනේ දවස් දෙකයි..
පලවෙනි දවසේ ජිනේ කලින්ම වෙලඳාම අහවර කර තිබුනා.
“ යමු මහත්තයා දුමක් දාන්න.. මහත්තයා සිගරට් බොනවා නේද? “
මම ඔළුව වැනුවා. විශ්වවිද්‍යාලයේ පලවෙනි වසරේ හිටපු මට වඩා අවුරුදු විස්සකට විතර වැඩිමල් ජිනේ එක්ක දුමක් දැමීම වෙනම ආතල් එකක් වුනා.
“ මහත්තයාලා උගත්තු අපි නූගත්තු. මහත්තයලා ඉගෙන ගනී හම්බකරයි. ඒත් අන්තිමට මහත්තයාලත් මැරෙනවා අපිත් මැරෙනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු “
ජිනේ අයියා එහෙම කිව්වෙ හෙන ආඩම්බරයකින් වෙන්න ඕනි.
“ මගේ ලොට් එක හැමදාම ඉවර වෙනවා. හම්බවෙන ටිකක් කන්නයි හවසට බාගයක් ගහන්නයි ඇති. ඉතුරු ටිකෙන් හෙට ලොට් එක ගන්නවා. මේක තමා මගේ ගෙදර. “
තුන්වෙනි හරස්වීදියේ කරෝල කඩේ ඉස්සරහා පෙට්ටි කඩේ අසෝකා වීදුරුවට දාපු මල්ප්ලේන්ටිය එක අතකිනුත් සිගරට් එක තව අතකිනුත් අල්ලගෙන දෑත් දෙපැත්තට දිගුකරපු ජිනේ දැකපු මට හිතුනේ රැවුල කපපු ජේසු තුමාත් මේ වගේ වෙන්න ඇති කියලා. මම නිහඬවම සිගරට් එක ඉවරකරලා ජිනේගෙන් සමුගත්තේ හමීඩ්ගේ කඩේටත් යන්න උවමනාව තිබුන නිසා.
“ දැන් මට හම්බකරපු දේවල් වලින් කරපු තව වැඩක් තියෙනවා. ඉගෙන ගන්න කොල්ලෙකුට ප්ලේන්ටියයි සිගරට් එකකුයි අරන් දුන්නා කියන එක. “
ජිනේ සිනාසෙමින් කීවේය. මම මද සිනාවක් පා ජිනේගෙන් සමුගතිමි.
                ඉන්පසු මට දවස් දෙක තුනක් ජිනේ හමුවුවත් මම සිටියේ ඇයත් සමග නිසා ජිනේට සිනාවකින් සංග්‍රහ කර රෙදි යාර තිහ පමණක් රැගෙන යන්නට සිදුවිය..
“ වැල වරකා කරනවා.. යක්කු දමනය කරනවා.. “
ජිනේගේ හඬ හැමදාම මෙන් එදත් ඇසුනි..
“ චික් බලන්නකෝ අර මනුස්සයා කියන කතා.. ලැජ්ජාවේ බෑ.. “
ඇය එසේ කිව්වා මට මතකය. මම මද සිනාවක් දමා කතාව මගහැර දැමීය..
අවසාන හමුවද ප්‍රථම හමුවට සමානය. වෙනස ජිනේ අළුත් වෙලඳ භාන්ඩයක් කරත්තයට එකතු කර තිබීමය..
“ උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්... “ 
ජිනේගේ කරත්තය ලඟින් එදාත් හිරිඔතප් සහිත ගැහැනුන් ගියේ ලේන්සුවකින් මුහුණ වසාගෙනය. ඒ කරත්තය ලඟින් ගිය කොල්ලෙකු ගිය ගමන් සිය මිතුරන් සමග ජිනේගේ මාකටිං එක බෙදාහදාගත්තේ නැතිනම් එය පුදුමයකි..
“ මහත්තයා රෙදි ඕඩරේ හරි. “
කල්පනා ලෝකෙන් මිදුනු මම හමීඩ්ගේ කඩෙන් එලියට බැස්සෙමි. අද ජිනේගේ කරත්තය නැත. සිගරට් දෙකකට පමණක් සීමාවූ ආශ්‍රයක් වුවත් සැබවින්ම ජිනේ මගේ ලෝකයේ වීරයෙකු වී සිටියේය ඒ ඇයිදැයි මම තවමත් නොදනිමි.. තවමත් ඒ හඬ මගේ දෙසවන රැව්දෙයි..
“ උක්කුං පටි බෝල බැලන්ස් පුක් පේපර්.. පුක් පේපර්.. පුක් පේපර්..  “

6.06.2011

කපුටු බෝ...


කිරි කල හතකින් නෑවෙන. 
වතුර කල වලින් පෝෂනය වන.
කවි වලින් ආසිරි ලබන.. 
ගාථා වලින් ගෞරව ලබන..
බෝහිමියන්ගේ..
රුහිර උරා ප්‍රසූත්‍ර වන.
කපුටන් විසින් අනුභව කරන.
බෙටි සමග එලියට විසිවන.
සැදැහැවත් බෞද්ධයින්ගේ 
තාප්ප උඩ මුල් අදින.. 
අති ශ්‍රද්ධාවෙන්..
ගලවා විසිකරන.
කපුටු බෝ..

4.19.2011

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ 
කොටු වීදුරුව අස්සෙන්...
එබීගෙන ඉන්න...
විසබීජ තොගේකට... 
ඔක්සිජන් බට වලට මැදිවෙච්ච....
උඹේ මැර මූණ පේනකොට.. 
වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්...
අඬන්න ගත්තා...

ඒත් උඹ එනකම් 
තාම උන් හිනා වෙනවා... 
වරෙන්... 
මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්...
නැත්නම් අපි තනියම බොනවා.. 

අනේ... 
මචං...
උඹ නැතුව බොන්න බෑ....
වරෙන්....
එනගමන් රයිස් එකක් දාගෙන 
චීස් එකකුත්.. 
අරන් වරෙන්....

3.24.2011

මම සිනාසෙමින් එලියට බැස්සෙමි..


සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ..
මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ?  එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි.. 
විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ.. 

සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා.
කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ප්ලේන්ටියට වඩා වැඩිපුර සීනි හැන්දක් එක්ක දාන ප්ලේන්ටිය එක්ක ලයිටරයත් බොයිලේරුව ලඟ තියලා සනී අයියා ඊළඟ ප්ලේන්ටිය දාන්න ගන්නවා..

සනී.. වැඩි හිනාවක් කතාවක් නැති විහිළු දන්නේ නැති චරිතයක්..
ප්ලේන්ටි දාන එකා හැම එකා එක්කම කතා කරන්න ඕනි නෑනේ මල්ලි. 
දවසක් ඇහුවාම සනී අයියා එහෙම කිව්වා මතකයි.. 
මිනිහා ඔහොම තමා හෙණ ගහන්නා වගේ උත්තර දෙන්නේ.. ගනන් ගන්න එපා. 
විල්සන් සනීට බනිනවාට වැඩි කැමැත්තක් නැත.

සනී.. එක්දාස් ගනන්වල සිගරට් ඒජන්සියක් කරපු සල්ලිකාරයෙක්. 
එක දවසක් හොරෙන් එකෙක් සිගරට් බන්ඩල් එකක් උස්සලා මූ ඌට වෙඩි තිබ්බනේ මල්ලි. මාර පොරක්. ඒ කාලේ ඕකා හෙන මැරයා. කට්ටිය කියන්නේ පතරොම් පටිය ඉණවටේ ඔතාගෙන හිටියා කියලා. ඔරුගොඩවත්තේ රැලේ කොල්ලො කපුටෙක් පෙන්නලා අරූ බිම දාපන් සනී අයියේ කිව්ව ගමන් කපුටා බිම. ඒකනෙ ඕකාට කපුටු සනී කියන්නේ.. මල්ලි වෙලාවක බලපන් ඕකාගේ ඇඟ නිකං චිත්‍ර පොතක් වගේ.. එක එක මගුල්.. 
විල්සන් සනීගේ වරුණාව කියවයි.. 

සනී.. හොඳ වෙඩික්කාරයෙක්... 
ගල්කටස් තුවක්කුවෙන් සනියා තරම් වෙඩි තියන්න පුළුවන් එකෙක් මුළු කොලඹම ඉඳලා නෑ වෙන්න ඕනි. විල්සන් නම් කියන්නේ ලංකාවෙම හිටියෙ නෑ කියලා, ඒත් ඉතිං තාර බර ඇරියාම කොලඹ කියලා නිගමනය කරන්නත් බැරිකමක් නෑ.. 

සනී.. තේ දාන සනී.. 
ඊට පස්සේ තමා මල්ලි ඔය ඇස්දෙකේ ලෙඩේ ආවේ. අන්තිමට පේන්නෙම නැතිවුනා. පව් වැඩේ සිංහයෙක් වගේ හිටපු මිනිහා. දැනටත් කැටපෝලෙන් ඕනි ඉලක්කෙකට තියයි. හැබැයි මලයා ඉලක්කෙන් සද්දයක් එන්න ඕනි. නැත්නම් තියන්න බෑ.. 
විල්සන් සනීගේ කතාව ඉවර කලේ එතනින්...  

සනී.. ඇස් පේන්නෙ නැති සනී.. පව්...
අන්න මල්ලි වැරදුන තැන. පව් කියලා එකක් නෑ. උඹ කලින් ඌත් එක්ක මල පැනලා නේද හිටියේ.. අන්න ඒක මල පැනපු එක සනියාගේ ඇස් දෙක පේන්නේ නෑ කියලා වෙනස්කරන්න එපා. මොකද ඌත් අපි වගේ මිනිහෙක්. හරි උඹට ඇස් පේනවානේ. පුළුවන් නම් සනී වගේ මල් ප්ලේන්ටියක් දාලා පෙන්නපන්. හොඳ වෙලාවට ඌට එහෙම වුනේ නැත්නම් අපිට සිගරට් එකට අර සුනිල් කාරයගේ අඩු සීනි කහටත් නැති ප්ලේන්ටිය තමා බොන්න වෙන්නේ.
 විල්සන් අයියා මද සිනාවක් එක්ක නැගී සිටියේය.. 
මල් ප්ලේන්ටියයි. 
රාජා ඇතුලේ සිට මොරදෙනු මට ඇසුනි. 
ලයිටරය බොයිලේරුව ලඟ ඇත. මම කෝප්පේ සින්ක් එක උඩින් තමා කුස්සියෙන් එලියට බැස්සෙම්... 
අයියෝ කවුද මේ කෝප්පෙ සින්ක් එකේ අඩමානෙට තිබ්බේ? 
සනී අයියා කෑගසමින් මගේ කෝප්පය ඉවත් කරයි..
 මම සිනාසෙමින් එලියට බැස්සෙමි..  

1.21.2011

ඇවිත් පලයන් එක දවසකට...

ආයෙමත් පරණ ඉරම හෙටත් 
පෑව්වාට....
මකර තොරණින් කැන්දගෙන යන්න 
බැරිවුනාට....
එන පාර දිගට 
මල් නොපිපුනාට....
යථාර්තයට බයේ 
ගුලිවෙලා හැංගුනාට...
ඇවිත් පලයන්...
යන්නං කියන්න....
ජීවිත කාලයම මට 
උඹත් එක්ක 
ජීවත් වෙන්න.....