6.06.2011

කපුටු බෝ...


කිරි කල හතකින් නෑවෙන. 
වතුර කල වලින් පෝෂනය වන.
කවි වලින් ආසිරි ලබන.. 
ගාථා වලින් ගෞරව ලබන..
බෝහිමියන්ගේ..
රුහිර උරා ප්‍රසූත්‍ර වන.
කපුටන් විසින් අනුභව කරන.
බෙටි සමග එලියට විසිවන.
සැදැහැවත් බෞද්ධයින්ගේ 
තාප්ප උඩ මුල් අදින.. 
අති ශ්‍රද්ධාවෙන්..
ගලවා විසිකරන.
කපුටු බෝ..

4.19.2011

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ 
කොටු වීදුරුව අස්සෙන්...
එබීගෙන ඉන්න...
විසබීජ තොගේකට... 
ඔක්සිජන් බට වලට මැදිවෙච්ච....
උඹේ මැර මූණ පේනකොට.. 
වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්...
අඬන්න ගත්තා...

ඒත් උඹ එනකම් 
තාම උන් හිනා වෙනවා... 
වරෙන්... 
මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්...
නැත්නම් අපි තනියම බොනවා.. 

අනේ... 
මචං...
උඹ නැතුව බොන්න බෑ....
වරෙන්....
එනගමන් රයිස් එකක් දාගෙන 
චීස් එකකුත්.. 
අරන් වරෙන්....

3.24.2011

මම සිනාසෙමින් එලියට බැස්සෙමි..


සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ..
මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ?  එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි.. 
විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ.. 

සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා.
කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ප්ලේන්ටියට වඩා වැඩිපුර සීනි හැන්දක් එක්ක දාන ප්ලේන්ටිය එක්ක ලයිටරයත් බොයිලේරුව ලඟ තියලා සනී අයියා ඊළඟ ප්ලේන්ටිය දාන්න ගන්නවා..

සනී.. වැඩි හිනාවක් කතාවක් නැති විහිළු දන්නේ නැති චරිතයක්..
ප්ලේන්ටි දාන එකා හැම එකා එක්කම කතා කරන්න ඕනි නෑනේ මල්ලි. 
දවසක් ඇහුවාම සනී අයියා එහෙම කිව්වා මතකයි.. 
මිනිහා ඔහොම තමා හෙණ ගහන්නා වගේ උත්තර දෙන්නේ.. ගනන් ගන්න එපා. 
විල්සන් සනීට බනිනවාට වැඩි කැමැත්තක් නැත.

සනී.. එක්දාස් ගනන්වල සිගරට් ඒජන්සියක් කරපු සල්ලිකාරයෙක්. 
එක දවසක් හොරෙන් එකෙක් සිගරට් බන්ඩල් එකක් උස්සලා මූ ඌට වෙඩි තිබ්බනේ මල්ලි. මාර පොරක්. ඒ කාලේ ඕකා හෙන මැරයා. කට්ටිය කියන්නේ පතරොම් පටිය ඉණවටේ ඔතාගෙන හිටියා කියලා. ඔරුගොඩවත්තේ රැලේ කොල්ලො කපුටෙක් පෙන්නලා අරූ බිම දාපන් සනී අයියේ කිව්ව ගමන් කපුටා බිම. ඒකනෙ ඕකාට කපුටු සනී කියන්නේ.. මල්ලි වෙලාවක බලපන් ඕකාගේ ඇඟ නිකං චිත්‍ර පොතක් වගේ.. එක එක මගුල්.. 
විල්සන් සනීගේ වරුණාව කියවයි.. 

සනී.. හොඳ වෙඩික්කාරයෙක්... 
ගල්කටස් තුවක්කුවෙන් සනියා තරම් වෙඩි තියන්න පුළුවන් එකෙක් මුළු කොලඹම ඉඳලා නෑ වෙන්න ඕනි. විල්සන් නම් කියන්නේ ලංකාවෙම හිටියෙ නෑ කියලා, ඒත් ඉතිං තාර බර ඇරියාම කොලඹ කියලා නිගමනය කරන්නත් බැරිකමක් නෑ.. 

සනී.. තේ දාන සනී.. 
ඊට පස්සේ තමා මල්ලි ඔය ඇස්දෙකේ ලෙඩේ ආවේ. අන්තිමට පේන්නෙම නැතිවුනා. පව් වැඩේ සිංහයෙක් වගේ හිටපු මිනිහා. දැනටත් කැටපෝලෙන් ඕනි ඉලක්කෙකට තියයි. හැබැයි මලයා ඉලක්කෙන් සද්දයක් එන්න ඕනි. නැත්නම් තියන්න බෑ.. 
විල්සන් සනීගේ කතාව ඉවර කලේ එතනින්...  

සනී.. ඇස් පේන්නෙ නැති සනී.. පව්...
අන්න මල්ලි වැරදුන තැන. පව් කියලා එකක් නෑ. උඹ කලින් ඌත් එක්ක මල පැනලා නේද හිටියේ.. අන්න ඒක මල පැනපු එක සනියාගේ ඇස් දෙක පේන්නේ නෑ කියලා වෙනස්කරන්න එපා. මොකද ඌත් අපි වගේ මිනිහෙක්. හරි උඹට ඇස් පේනවානේ. පුළුවන් නම් සනී වගේ මල් ප්ලේන්ටියක් දාලා පෙන්නපන්. හොඳ වෙලාවට ඌට එහෙම වුනේ නැත්නම් අපිට සිගරට් එකට අර සුනිල් කාරයගේ අඩු සීනි කහටත් නැති ප්ලේන්ටිය තමා බොන්න වෙන්නේ.
 විල්සන් අයියා මද සිනාවක් එක්ක නැගී සිටියේය.. 
මල් ප්ලේන්ටියයි. 
රාජා ඇතුලේ සිට මොරදෙනු මට ඇසුනි. 
ලයිටරය බොයිලේරුව ලඟ ඇත. මම කෝප්පේ සින්ක් එක උඩින් තමා කුස්සියෙන් එලියට බැස්සෙම්... 
අයියෝ කවුද මේ කෝප්පෙ සින්ක් එකේ අඩමානෙට තිබ්බේ? 
සනී අයියා කෑගසමින් මගේ කෝප්පය ඉවත් කරයි..
 මම සිනාසෙමින් එලියට බැස්සෙමි..  

1.21.2011

ඇවිත් පලයන් එක දවසකට...

ආයෙමත් පරණ ඉරම හෙටත් 
පෑව්වාට....
මකර තොරණින් කැන්දගෙන යන්න 
බැරිවුනාට....
එන පාර දිගට 
මල් නොපිපුනාට....
යථාර්තයට බයේ 
ගුලිවෙලා හැංගුනාට...
ඇවිත් පලයන්...
යන්නං කියන්න....
ජීවිත කාලයම මට 
උඹත් එක්ක 
ජීවත් වෙන්න.....

12.22.2010

ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

"මහත්තයා මේ මගේ නංගි නන්දා.."
විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි..
"මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.."
බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත..
"එහෙනම් මම යන්නම් අයියේ..."
කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය..
"යන්නම් මහත්තයා..." 
ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි...
විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය.
           අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පින්සිද්ද වන්නට මමත් මුලින් විමලේ අංකල් ගැන නිගමනය කලේ එසේය...
"ඕකි මගේ නංගි"
විමලේ අංකල් හඬ අවදි කලේය...
"බැන්දෙ අවුරුදු 17න් ඒකාලෙත් කළුයි ඒ වුනාට ලස්සන කෙල්ල, මගේ මස්සිනා ඒ කියන්නේ ගුණපාල ඒ කාලෙ පොතුවිල් වල හිටපු හොඳම හෝටල් කාරයෙක්, නන්දාට වඩා අවුරුදු පහයි වැඩිමල්.. ඌ මේකිව දැකලා මගෙන් කෙලින්ම ඇහුවා.. අම්මත් තාත්තත් නැති එකේ මම මොනවා කරන්නද මහත්තයා.. මම ඇහුවාම නන්දාත් කැමතියි කිව්වා. චාමෙට ලස්සන මගුලක් කලා, නන්දා ගුණයාගේ ගෙදර ගියා.."
"එහෙනම් අපිට කෑම ගුණපාලගේ කඩෙන් ගන්න පුළුවන්නෙ" 
පොතුවිල් වල දන්නා කඩයකින් කෑම ගැනීම කෝකටත් හොඳය..
"දැන් කොහෙද ගුණපාලයෙක්.. හරියටම බැඳලා අවුරුදු දෙකයි වුනේ.. නන්දාට ලමයෙක් හම්බවෙන්න හිටියේ, මහත්තයාට පරක්කු වෙනවාද? " 
"නෑ නෑ..." 
මට එවෙලේ තිබුනේ කතාව ඇසීමේ උනන්දුවකි.. විමලේ අංකල් කාමරය ඇතුලට ගොස් කරන්ට් තිබේදැයි පරීක්ෂා කර බලයි..
"මේන් ලයින් එකේ රෙපයාර් එකක්ලු තව ටිකකින් එයි" 
විමලේ අංකල් එහෙම කියන්නට ඇත්තේ මම කලිනුත් කරන්ට් නැති එක ගැන පැමිණිලි කල නිසා වෙන්නට ඇති..
"නෑ ප්‍රශ්ණයක් නෑ, කොහොමත් අපි කාලා එහෙමම බීච් එකට යනවා..."
"දවසක් එකපාර කොටි වගයක් ආවා උන් ආවේ වෑන් වලින්.. සිංහල පිරිමි පහලොවක් අරන් ගියා රෑ කැලේදී ඔළුවට පොරවකින් ගහලා උන් ඔක්කොම මරලා දාලා.. "
මට අමුතුවෙන් ගුණපාල එතන සිටියාදැයි අසන්නට උවමනාවක් නොවීය.. මෙවෙලේ නන්දා හිටියානම් අඬන්නට ඉඩ තිබුනි. නමුත් විමලේ අයියා ඇඬුවේ නැත..
"ඒ කාලේ නැගෙනහිර කොටි නායකයා දැන් ඇමති කෙනෙක්.. සටන් විරාම කාලේ තමා උන් ඕනි ඕනි විදිහට මිනිස්සු මරන්න ගත්තේ. ඒක නිසා මම අලියාට කතිරෙ ගහන්නේ නෑ.. ජනාධිපතිතුමා යුද්දෙ ඉවර කරලා මගේ මස්සිනා මරපු එකාට ඇමතිකමක් දුන්නා.. මම ඊළඟ ඡන්දෙ කාටද දෙන්නෙ මහත්තයෝ.." 
සිය දේශපාලන ස්ථාවරය නාඳුනන මිනිසුන් සමග කතාකිරීම අන්තරාදායක නිසාත් මට ප්‍රමාද වන නිසාත් මම යන්නට හැරුනි..
"පොතුවිල් වල අරක්කු ගණන් වැඩියි ගන්නවානම් මහත්තයලට සියඹලාණ්ඩුවට යන්න වෙනවා.." 
"හා හරි.." 
මම ආපසු හැරීවත් නොබලා ආරුගම්බේ වෙරලට ඇවිද යාමට පටන් ගත්තෙමි.. ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....