12.22.2010

ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

"මහත්තයා මේ මගේ නංගි නන්දා.."
විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි..
"මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.."
බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත..
"එහෙනම් මම යන්නම් අයියේ..."
කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය..
"යන්නම් මහත්තයා..." 
ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි...
විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය.
           අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පින්සිද්ද වන්නට මමත් මුලින් විමලේ අංකල් ගැන නිගමනය කලේ එසේය...
"ඕකි මගේ නංගි"
විමලේ අංකල් හඬ අවදි කලේය...
"බැන්දෙ අවුරුදු 17න් ඒකාලෙත් කළුයි ඒ වුනාට ලස්සන කෙල්ල, මගේ මස්සිනා ඒ කියන්නේ ගුණපාල ඒ කාලෙ පොතුවිල් වල හිටපු හොඳම හෝටල් කාරයෙක්, නන්දාට වඩා අවුරුදු පහයි වැඩිමල්.. ඌ මේකිව දැකලා මගෙන් කෙලින්ම ඇහුවා.. අම්මත් තාත්තත් නැති එකේ මම මොනවා කරන්නද මහත්තයා.. මම ඇහුවාම නන්දාත් කැමතියි කිව්වා. චාමෙට ලස්සන මගුලක් කලා, නන්දා ගුණයාගේ ගෙදර ගියා.."
"එහෙනම් අපිට කෑම ගුණපාලගේ කඩෙන් ගන්න පුළුවන්නෙ" 
පොතුවිල් වල දන්නා කඩයකින් කෑම ගැනීම කෝකටත් හොඳය..
"දැන් කොහෙද ගුණපාලයෙක්.. හරියටම බැඳලා අවුරුදු දෙකයි වුනේ.. නන්දාට ලමයෙක් හම්බවෙන්න හිටියේ, මහත්තයාට පරක්කු වෙනවාද? " 
"නෑ නෑ..." 
මට එවෙලේ තිබුනේ කතාව ඇසීමේ උනන්දුවකි.. විමලේ අංකල් කාමරය ඇතුලට ගොස් කරන්ට් තිබේදැයි පරීක්ෂා කර බලයි..
"මේන් ලයින් එකේ රෙපයාර් එකක්ලු තව ටිකකින් එයි" 
විමලේ අංකල් එහෙම කියන්නට ඇත්තේ මම කලිනුත් කරන්ට් නැති එක ගැන පැමිණිලි කල නිසා වෙන්නට ඇති..
"නෑ ප්‍රශ්ණයක් නෑ, කොහොමත් අපි කාලා එහෙමම බීච් එකට යනවා..."
"දවසක් එකපාර කොටි වගයක් ආවා උන් ආවේ වෑන් වලින්.. සිංහල පිරිමි පහලොවක් අරන් ගියා රෑ කැලේදී ඔළුවට පොරවකින් ගහලා උන් ඔක්කොම මරලා දාලා.. "
මට අමුතුවෙන් ගුණපාල එතන සිටියාදැයි අසන්නට උවමනාවක් නොවීය.. මෙවෙලේ නන්දා හිටියානම් අඬන්නට ඉඩ තිබුනි. නමුත් විමලේ අයියා ඇඬුවේ නැත..
"ඒ කාලේ නැගෙනහිර කොටි නායකයා දැන් ඇමති කෙනෙක්.. සටන් විරාම කාලේ තමා උන් ඕනි ඕනි විදිහට මිනිස්සු මරන්න ගත්තේ. ඒක නිසා මම අලියාට කතිරෙ ගහන්නේ නෑ.. ජනාධිපතිතුමා යුද්දෙ ඉවර කරලා මගේ මස්සිනා මරපු එකාට ඇමතිකමක් දුන්නා.. මම ඊළඟ ඡන්දෙ කාටද දෙන්නෙ මහත්තයෝ.." 
සිය දේශපාලන ස්ථාවරය නාඳුනන මිනිසුන් සමග කතාකිරීම අන්තරාදායක නිසාත් මට ප්‍රමාද වන නිසාත් මම යන්නට හැරුනි..
"පොතුවිල් වල අරක්කු ගණන් වැඩියි ගන්නවානම් මහත්තයලට සියඹලාණ්ඩුවට යන්න වෙනවා.." 
"හා හරි.." 
මම ආපසු හැරීවත් නොබලා ආරුගම්බේ වෙරලට ඇවිද යාමට පටන් ගත්තෙමි.. ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

10.20.2010

ජේසු පිහිටයි...!

පෙර ලියමි
මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි... 


ලසිත සොයුර,
ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි.
තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට  මේවා ලැබුනේ  නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්වුවත් ඉන් අනවශ්‍ය ප්‍රශ්න මතුවේයැයි ඇතිවූ බිය නිසා ඒ අදහස අත්හැර දැමුවෙමි. ඔබගේ පසුම්බියට විද්ද ගැටකපන්නා එහි තිබූ වටිනා දෑ පැහැර ගෙන මෙහි අඩංගු දෑ මහමගට විසිකර පලා යන්නට ඇත. එවන් අවස්ථාවක මා මේ දේවල් රැගෙන ඔබ හමුවීමට පැමිණියානම් මා හට ප්‍රශ්න රැසකට මූණ පාන්නට වෙනවා නොවේද? ඒ ගැන උගත් සිසුවෙකු වශයෙන් ඔබත් මොහොතක් සිතා බලන්න. 
        මටත් තිබුනා මේවා ගියත් එකයි නැතත් එකයි කියල ලියුම් කණුවකට දාලා එන්න ඒත් එහෙම කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ මොකද කිව්වොත් මේ අහිංසකයා දුප්පත් අයෙක් නම් රියදුරු බලපත්‍රයයි ජාතික හැඳුනුම්පතයි ගන්න තව කොච්චර කල් දුක් විඳියිද? වියදම් කරන්න සල්ලි ඇත්ද? යනාදි සිතුවිලි ගැන මසිතට ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇතිවූ නිසයි. මගේ මිතුරන් කිහිපදෙනෙකු කිව්වා ඔය අහක යන කුණු කරේ දාගන්නේ නැතුව ඔය ටික ලියුම් පෙට්ටියකට දාන්න කියලා. නමුත් මගේ හිත කිව්වෙම මේ ටික අයිතිකරුගේ අතටම පත් කරන්න ඕනේ කියන ස්ථිර නිගමනයයි. අන්න ඒ නිසාමයි මම මෙය රෙජිස්ටර් තැපෑලෙන් එවන්න තීරණය කලේ. හොඳ කිතුණු බැතිමතෙකු වූ මම අප අදහන ආගම දහමට අනුව යමෙක අමාරුවේ වැටුනු විටක ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වනවා මිස මගහරින පුරුද්දක් අප ලඟ නැහැ. අන්න ඒ නිසයි මෙතරම් කැපවීමකින් මගේය කියන් හැඟීමකින් ඔබට උදව් කරන්න පෙළඹුනේ. මේ උපකාරය ඔබ කෙලෙහිගුණ දන්නා අයෙක් නම් ජීවිත කාලයටම මතකයේ රැඳී තියේවි. යම් කෙනෙකුගේ විපතකදී ඔහුට අප උපකාර කලොත් අපේ විපතකදී ඒ කල උපකාරය නැවත ආපසු අප කරා පැමිනෙනු ඇත. එයයි දේව වචනය. මෙපමණ උනන්දුවකින් මා මේ උපකාරය ඔබ වෙනුවෙන් කරන්නේ ඔබගෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්න නොවන බව ඔබට වැටහෙනවා ඇත. කෙටියෙන්ම කිවහොත් මම ඔබ කළුද සුදුද කියාවත් අඳුරන්නේවත් නැහැ නේද? කවදා හෝ දිනක යලි අපි කොහේදී හෝ හමුවන්නත් පුළුවන් හමුනොවෙන්නත් පුළුවන්. එය දෙවියන්ටම බාරයි. කවදා හෝ රාගම+ ලකුණින් මා ඔබ ඇමතුවොත් ඒ ඔබට උපකාර කල ඔබේ නුදුටු මිතුරා බව පමණක් හඳුනා ගන්න. එපමණයි ඉතින් ඔබට සුබ අනාගතයක් පතමින් නවතින මා

නොදුටු මිතුරා
රාගම+
ජේසු පිහිටයි/තෙරුවන් සරණයි
09/10/2010

පලි,
ආපසු ලිපිනය ව්‍යාජ එකකි
ඒ පසුපස නොයන්න.. පසුව මගේ සත්‍ය තොරතුරුත් දුරකථන අංකයත් දන්වා එවන්නම්..

අවසානයට ලියමි..
ලියුම ලැබුන දිනට පසුදින මට දුරකථන ඇමතුමක් ලැබින. රාගම+ ඔහුගේ ජංගම දුරකථනයෙන් මා ඇමතීය.. ඔහු මා අමතා ඇත්තේ මට ලියකියවිලි ලැබීදැයි දැනගැනීමටය. මම ඔහුට ස්තූතියි කිව්වත් එය ඹහු කල උදව්වට සරිලන්නේ නැත. මම මොහු පසුම්බියේ අනික් අයිතිකාරයා යැයි හීනෙකින්වත් නොහිතන්නට තරම් මේ සාධක ප්‍රමාණවත් යැයි සිතමි. නැවතත් ස්තූතියි රාගම +

10.17.2010

නමුත් එය එසේ සිදුවී ඇත

මගේ පසුම්බියට තවත් අයිතිකරුවෙකු සිට ඇත.
රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත එකට රැගෙන ගොස් දෙකම අන්තරාස්දාන විය.
මම එය නොකල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

වැදගත් කොම්පැනියක සම්මුඛ පරීක්ෂණයකදී  ගොන් උත්තරයක් දී  රස්සාව නැතිවී ගියේය.
මම එය නොකල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

එම් පී  ත්‍රී ප්ලේයරද ආගිය අතක් නැත.
අමතකව කොහේ හෝ දමා ගොස් ඇත.
මම සිහිකල්පනාවෙන් වැඩ කල යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

අළුතින් ගත් සපත්තු දෙකට කකුල පතුරු ගොස් ඇත.
සපත්තු දෙක මිලට නොගත යුතුව තිබුනි.
එහෙත් එය එසේ සිදුවුනි.

ඇයට මංගල යෝජනාවක් පැමිණ ඇත.
ඇය ඔහුට කැමතිය.
මම ඇයට කැමති නොවී සිටියා නම් යැයි මට සිතුනි.
දුකක් දැනේ..
නමුත් එය එසේ සිදුවී ඇත...

8.09.2010

ප්‍රකාශ විද්‍යාව.

උඩුකුරු
වස්තුවට වඩා විශාල
වෙලා තිබුන
ප්‍රතිබිම්බයක..
ආදරය කියලා අකුරු හතරක්
මකුලු දැල් කඩලා
එලියට ගන්න කොට
පාර්ශ්වික අපවර්තනය වෙච්ච
වස්තුවට වඩා කුඩා
යටිකුරු
අකුරු හතරක් එක්ක
තවත් සෙල්ලම් කරන්න 
බෑ කියලා තේරෙන්න ගත්තා....
සොරි....

7.25.2010

අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය.

හැම උදේම අලකාලයි, පරප්පු කාලයි කන්න පෙට්ටි කඩේට ගොඩ වැදුනත් බාලා අයියා නැති දවසක ඇරෙන්න බාලා අයියා නැති අඩුව පෙට්ටි කඩේට එන අපිට දැනුනානම් දැනුනේ බාලා අයියා පාන් වල බටර් ගාන්න ගිය වෙලාවෙ කුමාර තට්ටුවට ආවොත් විතරයි කියලා කිව්වොත් හරියටම හරි. ඒ වගේ දවසක ඉඳලා හිටලා බාලා ලඟට කිට්ටු කරන දෙන්නෙක් තුන්දෙනෙක් “බාලා තට්ටුවට යනවකෝ“ කියලා නොකියනවාත් නෙමෙයි. ඒත් බාලා අයියා කවදාවත් බටර් ගාන එක දාලා තට්ටුවට ඇවිත් නම් නෑ. බාලා අයියා සිංහල හොඳට පුළුවන් දෙමලෙක් ඒත් බාලා තරම් සිංහල මිනිස්සු මම ආශ්‍රය කරලා නෑ අනික බාලා අයියාගෙයි මගෙයි සිංහල කතාකිරිල්ල බලලා දෙමලා කවුද ඇහුවොත් කවුරුහරි මගේ දිහාට ඇඟිල්ල දික්කලත් මම පුදුම වෙන්නෙත් නෑ..
         වෙලාව හවස 7වෙන්න ඇති.. රාජගිරියේ හෝල්ට් එකේ ඉඳන් ඈත පේන පාර කෙලවර දිහා 174 බස් එකක් මතුවෙනකම් බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. මම ජීවිතේ වැඩිපුරම බලාගෙන ඉන්න ඇත්තේ ෆයිල් ඩවුන්ලෝඩ් වනකනුයි මේ ජරා බස් එනකනුයි වෙන්න ඇති. ඒ වෙලාව මම ඉතුරුකරගත්තානම් මට කරන්න තියෙන වැඩ මොනවද කියලා මම කල්පනා කලා. එහෙනම් මට රටට වැඩදායක පුරවැසියෙක් වෙන්නත් තිබුනදත් මන්දා.. වාසනාවට මම වැඩ ලිස්ට් එක හදන අස්සෙ 174 බස් එකක් ඇවිත් නතර කලා. විනාඩි දහයක් විතර බස් එක නතර වෙලා තියෙන බව දැන දැනත් ඇතුලේ සීට් නැති බව පෙනි පෙනිත් කට්ටිය බස් එකට නගින්න පොර කනවා. මමත් මුලින් පොරේට එකතුවෙලා හිටියත් පස්සෙ ඒක අතෑරලා හදිස්සි කාරයින්ට ඉඩදීලා බලන් ඉඳලා බස් එකට ගොඩවුනා. බස් එක ගමන් ආරම්භ කලා..
යාන්තම් බත්තරමුල්ලේදි සෙනග අඩුවුන හින්දා අතපය දිගෑරගන්න අවස්ථාවක් හම්බවුනා. ඒත් කිලෝමීටරයක් යන්නත් කලින් හදිසියේම බස් එක නැවැත්තුවා.
මොකද්ද අංකල් සීන් එක
මම එහා පැත්තේ අංකල් ගෙන් ඇහුවා.
බස් එක පොලීසියෙන් අල්ලලා
හයිස්පීඩ්ද..? කියලා එහා පැත්තේ හිටපු පොර කෝචොක් එකට වගේ අහලා අහක බලා ගත්තා.

ටිං ටිං ටිං .... පලවෙනි බෙල් එක..
මේක මේ ඩැයිවරයටයි කොන්දොස්තරටයි..
දාඩිය පිසදාමින් ඛන්ති පාරමිතාව පුරන මගේ දැහැන බිඳුනේ මහ හයියෙන් කෑ ගහපු ඒ සද්දෙට.
“හත්තිලව්වයි බාලා අයියා. මේ යකා බීලාවත්ද. මට එක පාරට එහෙම හිතුනා.“
බස් එක පොලීසියෙන් අල්ලලා නතර කරලා. ඒක බස්කාරයාගේ වැරැද්දද. මෙතන මිනිස්සු කීයක් ඉන්නවද? සීට් ගාන 50 අමතරව තව විස්සක් විතර හිටගෙන එතකොට ඔක්කොම 70 මුන් මේ 70 ක කාලය විනාස කරන්නේ එක්කෙනෙක්ගේ විනාඩි විස්ස ගානේ ඔක්කොම විනාඩි 1400 ඒ කියන්නේ දවසක් විතර. මුන් දවසක් විනාස කරලා දානවා. මෝඩ හරක්...
බාලා අයියා මුළු බස් එක අමතන සද්දෙ ඉස්සරහා සීට් එකේ හිටපු හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති.
ආ මේ අපේ කොම්පියුටර් මහත්තයානේ...
මම බාලා අයියාට හිනාවක් දමා බස් එක සිසාරා බැල්මක් එල්ල කලේ වෙන අඳුනන කවුරුත් බස් එකේ ඉන්නවද කියලා බලන්නත් එක්ක.
         පිටිපස්සේ සීට් එකේ කොනේ හිටි තරුණිය සිය පෙම්වතාගේ උරහිසට හේත්තු වී බස් එක කලින් යවන්නට හදන බාලා අයියාට දෙස් දෙවොල් තබනවා විය යුතුය. බහුතරයක් දෙනා බාලා අයියා කියන දේ අසමින් එහෙත් ඒ බව නොපෙන්වමින් සිටීමට උත්සාහ කරන බව පෙනුනි. ඉස්සරහා සීට් එකේ හාමුදුරුවන් ඇතුළු කීප දෙනෙකු නිදිය. බාලා අයියාට පිටිපස්සේ සීට් එකේ මලයා ඉයර්ෆෝනයක් කනේ ගහගෙන එලියේ වාහන ගනන් කරයි.
ටිං ටිං ටිං... දෙවෙනි බෙල් එක....
මේක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට..
ඩ්‍රයිවින් කරන කොට හැප්පෙනවා තමා. ඒක හරි. ඒත් මේ බස් එකේ ජීවිතේ පලවෙනි වතාවට 174 යන අය කීදෙනෙක් ඉන්නවාද? උන් දන්නවානේ මේ බස්වල හැටි. ඒත් මේ මිනිස්සු හරි හොඳයි.  කම්පියුටර් මහත්තයා දන්නවනේ මම වාරිමාර්ගේ.. සර්විස් එක අවුරුදු තිස්පහයි ඒත් අපි මහත්තයාලාගේ වයසෙදි මීට වඩා ලස්සනට අපි බස්වල ගියා. ඒකයි අපිට තරහා යන්නේ..
අපි කාට කියන්නද ?
ඇමතිතුමාට කියන්නද ?
බස් අයිතිකාරයාට කියන්නද ?
ප්‍රශ්න අහන්නේ මම දිහා බලාගෙනය ඒත් ප්‍රශ්න යොමුවන්නේ බස් එකේ සමස්තය වෙතය. පසුපස පේලියට බාලා අයියාගේ වගක් නැත. පෙර කී තරුණිය සිය පෙම්වතාගේ කණ අතගායි. සිද්ධාර්ථගේ මෙන් නැතත් බාගෙට ලම්බකර්ණ වී ඇති තරුණයා වීදුරුවෙන් එලිය බලා සිටී.. පිටිපස ඉතුරු තිදෙනා වෙන කතාවකය.. ඔවුන්ටත් මේ ප්‍රමාදයේ වගක් නැත. කිහිප දෙනෙක් බාලා අයියාට හිනාවෙයි. බාලා අයියා ගේ අසුන පිටිපස ඉඳගෙන අපේ නංගිගේ වයසේ විතර හීන්දෑරි තරුණියක් මම දිහා බලාගෙන කරපු ආනාපානා සතිය මම ඒ පැත්ත බලනවාත් එක්ක එලියට එල්ල වුනේ ලැජ්ජාව හින්දා වෙන්න ඇති. බාලා අයියා අඳුනන්නේ මේ බස් එකෙන්ම මම විතරය. බස් එකේ බාලා අයියා පමණක් නොව මම ද කැපී පෙනෙන චරිතයක් වෙන්නට එය හේතුවක් වී ඇත. එකෙකුවත් බාලා අයියාට සවන්දෙන පාටක්ද නැත.
ටිං ටිං ටිං... තුන්වෙනි බෙල් එක...
මේක මේ බස් එක අද්දන්න...
මට නම් දැන් හොඳටම ඇතිවෙලා. මේක පුදුම කාලකන්නිකමක්. ලංකාවේ ඉන්නේ මහ පොල් බූරුවෝ රැලක්. එක්කෝ මුන් රහත් වෙලා නැත්නම් මුන්ට හෙණ ගහලා. බාලා අයියාගේ රතු කට්ට පැන ඇත.
විසිදෙනෙක් විතර බාලා අයියාට රවනවා මම දිටිමි. මම බාලා අයියාගේ වචනයක් පාසා බස් එකේ මිනිසුන්ගේ වෙනස නිරීක්ෂණය කරමි.
පිටුපස අසුනේ තරුණිය සිය පෙම්වතාගේ දෑස් දෙස බලාගෙන සිටියි. පිටුපස පේලියේ තිදෙනාගේ වාදය තවමත් ඉවර නැත.  ඉයර්ෆෝන් මල්ලි එක කනක් ගලවා මදක් බස්එකට සවන් යොමුකර නැවත එය කණේ රඳවා ගත්තේය. නිදිගත් අයද තාමත් නිදිගත් වනම සිටිති. තවත් දහදෙනෙක් විතර කොන්දොස්තරගේ ආගමනයත් සමග නින්දට වැටී ඇත.

අන්තිමට බස් එක ඉදිරියට  ඇදෙන්නට විය.