3.14.2010

මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි...

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි.
සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.
 "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.
   ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි...
"ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො"

"මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ"
"මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ"
ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්සකම නිසා වෙන්න ඇති.

"මම ඕකි යනවා කියලා දන්නෙත් නෑ අඩුගානේ ඕකිට මට කියන්න තිබුනා, මාත් තාත්තා කෙනෙක්නෙ මහත්තයො මට උන්ට කන්න අඳින්න දුන්න එව්වා අගේ කොරන්න බෑ.. ළමයි හැදුවානම් අපි ඒවා කරන්න ඕනි, ඒත් අඩුගානෙ යන්න කලින් ඕකි මට කියලවත් ගියානම්"

පුබුදුනීගේ නික්මයාම ගුණේ අයියා මට දැනුම් දුන්නේ එසේය...

"මම කතුරෙන් කොණ්ඩෙ කපන මිනිහ, මට මැෂින්වලින් කරන වැඩේ හරියන්නෙ නෑ.. අපි අතින් කොණ්ඩෙ හරියට කැපෙන්න නම් අපි කොණ්ඩෙත් එක්ක ඒ පැය බාගෙ ජීවත් වෙන්න ඕනි, මැෂින් එකේ ඒ ගතිය නෑ.. ඒත් මම ඕකිව බියුටි කල්චර් කරන්න යැව්වා ආසයි කියපු හින්ද.. ඒකිගේ වැඩ හොඳයි, ගිය තැනක බියුටි සෙන්ටර් එකක් දාගෙන ඇති..."
‍"එහෙනම් පුබුදුනීත් ගුණේ අයියගෙ පින්තූරෙ බියුටි සෙන්ටර් එකේ ගහලා ඇති"
මම ගුණේ අයියව සන්සුන් කරන අදහසින් පැවසුවෙමි..

"බිත්තියෙ ගහන්න කොහෙද මහත්තයො ඕකි ලඟ මගේ පින්තූර.. ඕකි එවෙලෙ ඇඳන් හිටපු ඇඳුම ඇරෙන්න එක නූල් පොටක් අරන් ගිහින් නෑ.. ජංගියෙ ඉඳන් ඒකිගෙ බඩු ගෙදර තියෙනවා. මම ඒ ටික අරන් තිබ්බා ආයි ඕකි එයි මහත්තයො මට ඒක විස්වාසයි"

ගුණේ අයියාට පිලිතුරු දීමට තරම් ජීවන අත්දැකීම් හෝ අවබෝධයක් මට නොතිබුන නිසා මම තවදුරටත් නිහඬව සිටීමට තීරණය කලෙමි...

ගුණේ අයියා මගේ හිස් මුදුනට බේරම් හලනවිට පුබුදුනීගේ තාත්තා විසින් මම ජීවිතේට දැකලා නොතිබුන පුබුදුනී ගැන ඔහුගේ හිතේ තිබුන ඔක්කොම කියලා ඉවර කරලා.. මසාජ් එක අතරතුර ගුණේ අයියා ගොළුවුනේ කියන්නට දෙයක් නැති නිසාද නැත්නම් දුක හිතුන හින්දද කියලා මට වැටහුනේ නැත්තෙ මම ඒක ගැන තේරුම් ගන්න උත්සාහ නොකරපු හින්ද වෙන්න ඇති.

"මම ඡන්දෙ ඉල්ලපු විජයට ආදරේ කරපු ඡන්දෙ ඉල්ලන මාලනීට බනින මිනි‍හෙක්, ඒත් මේක නම් මට දරාගන්න ටිකක් අමාරුයි මහත්තයො"
ගුණේ අයියා කියපු ඒ කතාවත් මට හරියටම තේරුණේ නැත.. මම පර්ස් එකෙන් රුපියල් අසූවක් ඇද ගුණේ අයියාට දී එලියට බැස්සෙමි..
         මම මද දුරක් ඇවිද ගොස් නැවත හැරී බැලුවෙමි.. 
              "පුබුදුනී සැළුන්"
                     මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි....

2.26.2010

මම ගෙදර ගියෙමි...

                මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි.
පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන ‍වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.
                 පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්.
                   ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි.
                    රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝතිපාලයන් ගයයි. වාදක කණ්ඩායම කොතරම් දක්ෂ වුවත් ඒ හඬ ඔක්ටොපෑඩයකින් මකා දැමීම උගහටය. කොතෙක් උත්සාහකලද මතුවනුයේ ජෝතිපාලයන්ගේ හඬය. කතා දෙකක් නැත. අපරාදේ... නැවතත් මම පොත පෙරළුවෙමි.
                   "ස්‍ටීව් බිකෝ මියයයි".... මම වීදුරුවෙන් එලිය බැලීමි. සංඛපාල විහාරය වේගයෙන් පසුවේ. අපරාදේ... සියල්ල අමතක කර මම පොත වසා දැමුවෙමි.  සංවිධානාත්මක ලෙස කරන ඉල්ලීම් සුද්දන්ගේ බිහිරි කන් වලට වුවද ඇසීමට ඉඩ ඇති බව බිකෝ තදින්ම විශ්වාස කලේය. මම අ‍පේ ෆැකල්ටිය සහ අරගල ගැන කල්පනා කලෙමි. බැරිවෙලාවත් අපි පන්ති වර්ජනයක් කලොත් කීදෙනෙක් ලෙක්චර්ස් යයිද. බැරිවෙලාවත් කාගේ හරි පන්ති තහනම් වුනොත් ඌට මොකද වෙන්නෙ...?  චන්ද්‍රසේන ‍හෙට්ටිආරච්චිගේ "සැඳෑ සමයයි ජීවිතේ" අන්ප්ලග් එකක ගැයුවානම් ‍කොහොම තියෙයිද...? මම චන්ද්‍රසේනගේ සින්දුව අන්ප්ලග් කිරීමට උත්සාහ කලෙමි. චන්ද්‍රසේනත් සල්ලි වලට එල්ලිලා මැරිලා. අපරාදේ....
                  වුඩ්ස් දකුණු අප්‍රිකාවෙන් පනිනකොට බසය ඇඹිලිපිටියේ නතර කර අවසන්ය. ත්‍රීවිල් අයියා ගෙදරටම රුපියල් 70 ක් ඉල්ලූ නිසා මම ඌට බැණ බැණ මහ ඇල ලඟට පැමිණියෙමි. වපුරන දවස් හින්දා ඇල ඇරලා ව‍ගේ. ඇල හරියට නොපෙනුනත් වතුර බහින සද්දේ පැහැදිලිව ඇසේ..
                 අවසානයේ මම ගෙදර ගියෙමි........!
                  

2.12.2010

දෑවුරුද්ද

හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති. 

ඒත්.............

මම බොරුව දාන්න ඇති.
ජිල්මාට් දාන්න ඇති.
සමහර විට බනින්නත් ඇති.
ඊට වඩා උඹ මට ආදරය දෙන්නත් ඇති.
ඒකමට හරියට තේරෙන්නත් ‍නැතුව ඇති.

"මහවරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙ‍න් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත 
ඒ එළියට වැඩියෙන් එළියයි"

මේ අවුරුදු දෙක මට මගේ ජීවිතේටම ඇති.
සමහරවිට පහුගිය ආත්ම හතෙත් ලැබෙන්න නැතුව ඇති.

ප්‍රථම ප්‍රේමයට අවුරුදු දෙකයි.....
තුත්තිරි ගහ දැන් පඳුරක් වෙලා.....

ජය ශ්‍රී ..... !

2.08.2010

සුප්‍රබුද්ධ වික්ටර්

අටේ පන්තියේදී..
මම අපේ ලොවක් සොයා ගියෙමි...
ඒත් වික්ටර් වික්ටර්ම විය......

සාමාන්‍යපෙළ කරන වි‍ට..
මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි...
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

උසස් පෙල අවසන් වන විට..
මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි...
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

සරසවිය ඇරඹුනි...
මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි..
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි..
අපි ඔක්කම රජවරුය...
ඒත් වික්ටර් ‍වික්ටර්මය....

1.22.2010

අපි අපිමයි...


දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ
හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන
උඹලා මාත් එක්ක හිටියා....

වල් ඌරන් කැකුණ තලනකොට
හබන් කුකුලන්ට වෙඩිතියන්න
උඹලා මාත් එක්ක එකතු වුනා..

ඒ මලගිය යටගියාවේ පාංශුකූලය
දෙන්න කලින්...
මම උඹල‍ට ස්තූති කරන්නම්...

එකට කාලා , බීලා එකට ආතල් දාලා
එකට මලපැනපු... එකට මල කාපු...
සහෝදරයින්ට....

උඹල මාර මිනිස්සු බං.......