2.05.2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි.



පුරහඳ..
හැමදාම නැතිවුනත්.
හැමදාම තිබුනත්.
මට ඒ පුරහඳ මතක් වෙන්නේ
මාසෙකට සැරයයි..

පුරහඳේ..
හාවෝ හිටියත්..
හාවෝ නොහිටියත්..
මට ඒ පුරහඳ මතක්වෙන්නේ
මාසෙකට සැරයයි...


පුරහඳ..
ආවත් නොආවත්..
ඒ පුරහඳ තියෙනකම්..
මම නිර්වාණයේ දොරකඩ..
ඇතුල්වීම තහනම්.. 

8.04.2013

දිග කතාවකින් උපුටන දහයක්.


"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා."
....................................................................
"මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා."
....................................................................
සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා.
....................................................................
"ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් පහක් හොයන එක පුදුමයක් වගේ පෙනුනට ඒක එහෙම නෑ. මහේෂ්ටත් ඒකෙන් වාසියක් නැතුව නෙමෙයිනේ. හරි ඔය ලක්ෂ හතර පහෙන් ගානක් මහේෂ්ගේ සාක්කුවට යන්නේ නෑ කියලද කියන්නේ?"
....................................................................
"මහේෂ්, සම්පත් අර ගෘප් එකේ එවුන් කියන සින්දුවලට නටනවා පිලිවෙල වැඩියි. උපන්දා ඉඳන් ඇස් පේන්නේ නැති පොරක් එහෙම නටන්න විදිහක් නෑනේ. අනික් ඒක පිලිවෙල වැඩියි. ඔය නටන සිස්ටම් එක ඔයිට වඩා හරිකිත විදිහට පෙන්නන්න වෙයි. එහෙම බැරිනම් නටන්න එපා කියන්න. "
....................................................................
"ඉතිං ඉතිං.. මචං කියපන්. උඹ මෙඩිසින් ගියා කියලා මට ආරංචි වුනා. ඊටපස්සේ මොකද වුනේ කියලා මම දන්නේ නෑ. "
"මචං මම දැන් අයි ස්පෙශලිස්ට් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ.
හොඳයි මචං මිනිහෙක්ට පෙනීම දෙන එක පින්සිද්ධ වෙන වැඩක්."
....................................................................
"එතකොට මචං උඹ කියන්නෙ මේක සනීප කරන්න පුළුවන් කියලද? එහෙනම් ඉතින් අපිට වැඩි කල් ගන්න දෙයක් නෑනේ. අපි වැඩේ ඉක්මනට කරමු."
....................................................................
"අයිසෙ මහේෂ් තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නේ ඇස් පේන සම්පත්ට කලින් වගේ මිනිස්සු කැමති වෙයි කියලාද? මම සම්පත්ගේ අම්මටයි තාත්තටයි කතා කරන්නම් ඔය වැඩේ අතෑරලා දානවා අයිසේ."
....................................................................
"දැන් තමුසෙට මොකද මේ සම්පත්ගේ අම්මාටයි තාත්තටයි නැති අමාරුවක්. මතක තියාගන්නවා මහේෂ් තමුසෙ තව මාස හයකින් බඳින්න ඉන්නේ. තමුසෙගෙ කෙල්ලට ඕනි විදිහට වෙඩින් ගන්න මේ වැඩේ කලොත් තමුසෙට හම්බවෙන්නෙ නෑ. මට නම් ප්‍රශ්නයක් නෑ. මට ඕනි තරම් මැනේජර්ස්ලත් ඉන්නවා ක්ලයන්ට්ලත් ඉන්නවා විකිනෙන්න බලාගෙන. තමුසෙ හිතනවා තමුසෙට මොකද වෙන්නේ කියලා. තමුසෙට මම පැයක් දෙන්නම් හොඳට කල්පනා කරලා බලලා තමුසෙගෙ තීරණය මට කියනවා. මතක ඇතුව පැයකින් මට කෝල් එකක් දෙනවා."
....................................................................
මම දුරකථනය අතට ගත්තෙමි.
........................................................

5.14.2013

ගබ්සාව..





සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීමා වුනේ අපි දෙන්නාට කතා කරන්න තරම් විශේෂ දෙයක් තිබුනේ නැති නිසා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ යාන්ත්‍රික සම්බන්ධතාවය එකපාර අනික් පැත්ත ගැහුනේ සුජ්ජා උගේ ප්‍රශ්නෙකට මට උත්තර හොයන්න කියලා කියපු වෙලාවේ.

"මචං පොඩි අවුලක් වුනා." 
සුජ්ජා කතාව පටන් ගත්තේ එහෙමයි.
"මොකද්ද?" 
කොහොමත් වැඩි අවුලක් වෙන්න බෑ කියලා ඌ කියපු විදිහෙන් පෙර නිගමනයක හිටපු මම එහෙම ඇහුවේ වැඩි උවමනාවකින් නෙමෙයි.
"සිගරට් එකක් බොමුද? උඹ දැන් වැඩකද ඉන්නේ?"
සිගරට් එකක් බොන්න කතා කරන සුජ්ජා සාමාන්‍ය වුවත් මම වැඩකද ඉන්නේ කියලා අහන සුජ්ජා නම් අසාමාන්‍ය නිසා මට වැඩේ ටිකක් බරපතලයි කියලා වැටහෙන්න පටන් ගත්තා.

"මචං ලතාට හිටලා"
සුජ්ජා දැල්ලට සිගරට් එක ලංවෙනකොටම එහෙම කියාගෙන කතාව පටන් ගත්තා. මට උගෙන් අහන්න පුළුවන් වුනේ එකම ප්‍රශ්නයයි.

"උඹට ෂුවර්ද?"
ඊට පස්සේ ඌ මොනවද කිව්වේ කින්ද මන්ද කියලා මට මතක නැත්තේ මට ඊට වඩා මතක හිටින දේවල් ඊට පස්සේ ගතවුන අවුරුදු හය හතට වුන නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් යන්තම් මමයි, බෝඩිමේ හිටපු අනිකයි, සුජ්ජයි එකතු වෙලා හොයලා හොයලා තැන් තුන හතරකට ගිහින් පනස්දාහක් විතර වියදම් කරලා වැඩේ සුද්ද කරලා දැම්මා. කවුරු කොහොම කිව්වත් කැම්පස් අවුට් වුන ගමන් සුජ්ජායි ලතායි පෝරු මස්තකාරූඩ වුනා. හැබැයි ලතාට අෂ්ඨක කියනකොට කලන්තේ දැම්මේ නම් නෑ. මම එතකොටත් එතන හිටියා, ඒ අප්පච්චිට අසනීප වෙන්න පැය බාගෙකට විතර කලින්.

අවසාන වතාවට පසු වතාවේ සුජ්ජා මට හමුවුනේ බාර් එකක. පුටුවලට සහ කම්මැලිකමට පින්සිද්ද වෙන්නට කිලෝ විස්සක් විතර බර වැඩිවී තිබුනා වුනත් සුජ්ජාව අඳුරගන්න මට අමාරු වුනේ නෑ. සරලවම කියනවානම් අවුරුදු හය හතක් ගිහිනුත් සුජ්ජාව මට මතක තිබුනා. සමහර විට තව අවුරුද්දකින් මට ඌව අමතක වෙන්නත් ඉඩ නොතිබුනා නෙමෙයි.

"මචං" 
මාව අවුරුදු අටක් හෝ නමයක් ආපස්සට රැගෙන යන්නට උගේ ඇමතීම හේතු වුනා කිව්වොත් ඒක නම් බොරුවක් නොවේ. ඇත්තටම ඒ ඇමතුම මට පහුගිය අවුරුදු අටේ කොච්චර වුවමනා වෙලා තිබුනාද කියන එක මට ඌ ආපහු හම්බවෙනකම් හිතිලා තිබුනේ නෑ. අන්තිමට අපි ගෙදර යනකොට ජීවිතේ ගැන විකල්ප ගැන දේශපාලනය ගැන පවුල් ජීවිත ගැන සෑහෙන දේවල් කතා කරලා තිබුනා. අපි යන්න ගියා.

"මචං" 
ඔව්, මම සුජ්ජාට මගේ දුරකථන අංකය දීලා තිබුනා.
"අපි හම්බවෙමුද?" 
ඔව්, මම ඌව මට වැඩ නැතිවෙලාවක හවසක හම්බවෙන්න ගියා.

"උඹලා දොස්තර කෙනෙක්වත්  හම්බ වුනේ නැද්ද?" 
මට වෙන අහන්න දෙයක් තිබුනේ නෑ. ඌ දොස්තරට මොනා කියන්න ඇතිද කියලා මට හිතාගන්න බැරිවුනා.

"එකෙක් නෙමෙයි බං පස් දෙනෙක් හම්බවුනා." 
සුජ්ජා සිටින්නේ දුකෙන් යැයි කියා සිතුනත් උගේ මුහුනෙන් දුකක් හෝ සතුටත් නොපෙනේ. මම ඉන්පසු උගේ හැඟීම් තේරුම්ගන්නට ගියේ නැත.
"ඉතිං" 
සුජ්ජා මගේ ගැටළුවට උත්තරයක් නොදී මට ෆයිල් එකක් දික්කලා.
"ඕක බලපන්, බලලා උඹට එන පලවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒකට උත්තරේ උඹට හිතාගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නෙට උත්තරයක් මම ලඟ නෑ"
මම ෆයිල් එක පෙරලා බැලුවේ එයින්වත් මගේ ඊට මොහොතකට කලින් ඇතිවුන වැරදිකාර හැඟීම නැතිකරගන්න පුළුවන් වෙයි යැයි සිතමින්. නමුත් ඒ ෆයිල් එක ඇතුලේ තිබුනේ එච්චර සංකීර්ණ දෙයක් කියලා මට ඒක අතට ගන්නකොට හිතුනේ නෑ

"මොකක්... උඹට තාත්තා කෙනෙක් වෙන්න බෑ? ඒ මොන කුණුහරුපයක්ද?"
"මචං ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා." 
ලතා ගෙදර තනියම මම යනවා. මතක තියාගනින් ලතා තාම ඕක දන්නේ නෑ. උඹත් ඕක දන්නෙ නෑ.
සුජ්ජා ගියේය. මම තාමත් ඒ ගැන කල්පනා කරමි. සුජ්ජා ඒ ගැන කල්පනා කරයිද නැද්ද යන්න මම නොදනිමි.. 

1.01.2013

වයිරා.




මම වයිරා.
කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්.

මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා.

හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්.

රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ.

මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්දේ ඉවරයි.

කොහොමත් මට මැරෙන්න තිබුනේ මීට ඉස්සර.. මේ උත්පත්තිය දුකක්. කොහොමත් මට හිතුනා ජීවිතේ ඇති කියලා. හැබැයි මට මැරෙන්න හේතුව රත්තිවත් හඳයාවත් නෙමෙයි. මමමයි.

සාමාන්‍යෙයන් මිනිස්සුන්ගේ කතාවල හරක් මස් කඩේ අයිතිකාරයායි පොලීකාරයයි දෙන්නම තම්බි. ඒත් මම කොහෙන්හරි කැරකිලා ආපු මස් කඩේ අයිතිකාරයා සිංහල එකෙක්. මට නම් ඔය කෝකත් එකයි. මගේ ප්‍රාර්ථනාව ක්ෂණික මරණයක්. ඒකට වර්තමානයේ තියෙන හොඳම තැනට තමා මම ආවේ.

ජනවාරි පලවෙනිදා කියලා අපිටනම් ඉතින් වැඩි වෙනසක් නෑ. කොහා නැත්නම් ඔය මිනිස්සුන්ගේ අවුරුදු දෙකේ වෙනසක් හොයාගන්නත් බැරිතරම්. කොහොමත් මිනිස්සු වැඩිපුර අතට අත දෙන්නෙයි අනික් එවුන් බදාගන්නෙයි ඔය දවස් දෙකේ විතරයි. බලන බලන එකා අත බදාගත්තු ගමන්.

පිරිත් කියනකොට මට හිතුනේ මාව මරන්න යනවා කියලා. ඒත් ජනවාරි පලවෙනිදා මාව නිදහස් කරලා! මගේ නිදහස් මරණයෙන් මාව ගලවාගෙන! ගවයෙකුට මිනිස්සු අභය දානය දීලා. අළුත් අවුරුද්ද දවසේ පුන්‍ය කර්මයක් කරලා. මම හාමුදුරුවෝ ලඟ දනෙන් වැටුනේ මාව නිදහස් කරන්න එපා කියලා කියන්න. කොහොමහරි දායක සභාවෙන් මාව ආයෙත් ගලගාව වෙල්යායට නිදහස් කලා.

ඈත රත්ති ඒකිගේ ලස්සන දික් හොම්බෙන් හඳයාගේ බඩ පිරිමදිනවා. ටික වෙලාවකින් වෙන දේ මට හිතාගන්න පුළුවන් නිසා මම උන් දෙන්නා පැත්තට පස්ස හැරෙව්වා.
ෂික් මට මේ මිනිස්සුන්ගේ භාෂාවලින් එකක්වත් පුළුවන් වුනානම්......
අන්තිමට මම ආයි රත්තියි හඳයයි දිහාට බෙල්ල හැරෙව්වා.

10.31.2012

එහිතට ඇමතුවෙමි.


නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර..

පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ.

එකවර සියල්ල නිල් පැහැ වේ.

නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් නටනු පෙනේ කඩදාසියෙන් ඔටුවෙකු සැදී ජෙනිෆර් ලෝපේස් ඔටුවා පිට නැග යයි. මට ඔටුවා සෑදුන ආකාරය නැවත බැලීමට උවමනා විය. සරලය රිවයින් කලයුතුය. රිවයින් කිරීමට රිමෝට් එක සෙවීම හෝ ප්ලේයරය ලඟට යා යුතුය. මම නැගිටීමට උත්සාහ කලෙමි. මොලයට නැගිටීමට අවශ්‍ය වුවත් කකුල්වලට ඒ සඳහා වුවමනාවක් නැත. මම අන්තිම උගුරට පසු උගුර ඇදීමට සූදානම්ය.

තිලාපියා තාමත් ෆිල්ටර් එක ලඟට කට කිට්ටු කර නැත. අවසාන පැකට්ටුව තාමත් ඔතා අවසන් කලේ නැත.
නිල් කඩදාසියක් ? ඔව් එය නිල් කඩදාසියකි. එය මාන දෙක තුනක් ගනකම වැඩි A4 කොලයකි. තිලාපියා ලඟ තිබූ නිල්පාට කූරේ රතුපාට කෙලවර දීප්තිය වැඩිවනු පෙනේ.

ලයිටරයෙන් මාත් නිල් කූර දල්වාගතිමි. තව තප්පරයකින් මම මගේ පෙනහළු කෙලවරට ඒ කාබන් පිරුනු කැනබීස් අංශු ගමන් කිරීමට නියමිතය.
තිබහක් දැනේජ. නැගිට යාමට තියා ඇඟිල්ලක් සෙලවීමටද කම්මැලිය. හුස්ම ගැනීමත් වෙහෙසකර වැඩකි. මම නාසයෙන් පිටවෙන හුස්ම වදින තැන් මාක් කිරීමට උත්සාහ කලෙමි.

නාස් කුහරයේ ඇතුලතට එක් වරක් වරක් සුලං පොදක් වදී ඊළඟ එක වදින්නේ නාසයේ අග්‍රයටය.
ඇත්තටම මම කවුද? මම මට කතා කිරීමට උත්සාහ කලෙමි. ඈත රැහැයියෙක් කෑගසයි. බස්සෙක්ගේ ඉක්කා සද්දය වගේ එකක් තවත් කොහෙන්දෝ ඇසේ. ඒ අස්සේ ජෙනිෆර් ලෝපේස් බෙරිහන් දෙයි.

ටික වෙලාවකින් නිල් කඩදාසියේ එතූ දෙවනි කූර මගේ අතින් පත්තු වේ. එතුවේ කවුදැයි මට අමතකය. එය අනික් එවුන්ගෙන් අහලා වැඩක් නැත.
මේ කූර අවසන් වනතුරු මම ඒ හිත සොයමි. මගේ අනිකාගේ හිත සොයමි. මගේ ස්ප්ලිට් පර්සනැලිටිය සොයමි. දැන්නම් ජෙනිෆර් ලෝපේස් වදයක් වී ඇත. මම කපුගේ තැටිය ප්ලේයරයට දමා ටීවී එක සහ ලයිට් එක නිමා ඉටිපන්දම පත්තු කල යුතුව ඇත.

එතෙක් අවසරයි....