6.03.2010

තවමත් මම ජීවතුන් අතර...

හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන..
පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්ක
ගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමා‍ශය..
නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලා
ක‍ණ්නාඩියට මූණ හංගන්න
වවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න..
හෝදන්න හිතුන නැති කපු කමිසයත්..
පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යන‍
මට අනුකම්පා කරපු...
කාණු පල්ලේ ප්‍රේමය....! 
තවමත් මම ජීවතුන් අතර....

5.11.2010

මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට

කිරි පිරි කලේකට නූඹ පෙම්          කෙරුවාම
ඒ කිරි කලේ ගොම බිඳ නුඹ               දුටුවාම
ඒ කිරිවලින් මම කිරි පිඬු                  පිසුවාම
අපුලක් දැනේ නුඹහට එය                කෑවාම

ආගිය මගේ තවමත් උණුහුමට                  රැඳී
පියසටහන් මග යන එන විටදි            පෙනේ
අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම       ඇඳී
ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු            දැනේ

මට නැති කලට මට නැති දේ                දුන්නාට
ඒ ණය තවම මා සිත තුල                      රැඳුනාට
දෙදෙනා දෑත් බැඳ පියමං                  කෙරුවාට
මංසල පැමිණීය අප හට                වෙන්වෙන්ට

4.19.2010

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත.
එය සිදුවිය යුතුව තිබුනි.
නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය.
අවසානයේ එය සිදුවී ඇත...!
ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක් 
අවසාන වී ඇත.
කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක් 
කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය
සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය. 
කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය.
අවසානයේ මම පිදුම වෙනස් කරමි....
"මගේ අතේ එල්ලී
මගේ කණ් ගොඩ කරපු
දම්මිනීට.." 
පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත. 
එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත.. 
ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත..
මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි...
එය සිදුවිය යුතුව තිබුනි....!

3.24.2010

ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මිරිඟුවක්වත් නැති කතරක 
වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක...

අඳ ගොළු බිහිරි ,
නැට්ටෙන් කණපිට ගැහුණු ,
කවන්ධයක් තුල...

විසාලා මහනුවර ,
පිපාසාවෙන් මියයන...

අනෝරා වැසි ඇදවැටී ,
ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,
කලාකරුවන්, පාදඩයින්,
දියපහරින් වැසිකිලි වලට සේදී යන...

මදුරුවොත් ඇවිදින්,
නක්කලේ දාලා යන,
ඩබල් ඇඳක සින්ගල් හිතක්...!