“මහත්තයා අර ජිනේ මැරිලා“හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි
“ මොනවා...! වෙන්න බෑ “මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති
“ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ..
“ ජිනේ “තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..
ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා. හමීඩ් නම් කිව්වෙ ඒවා ජිනේ වරායෙන් පන්නන ඒවා කියලා ඒත් ඒක ඇත්තද බොරුද බලන්න කවදාවත් ඒ ප්‍රශ්නෙ මට ජිනේගෙන් අහන්න බැරිවුනා.
“ අල ගෝනි කරනවා.. චන්ඩියා මෙල්ල කරනවා “ජිනේ කෑමොර දෙනවා. මට ඈතින් දකිද්දි පොඩි කුතුහලයක් දැනුනත් ලඟට ගියාම ජිනේ විකුනන දේවල් දැක්කාම කටට ආපු හිනාව තදකරගත්තේ තාත්තා හිටපු නිසා. තාත්තට ගානක්වත් නෑ..
එදා ඉඳන් දවස් පහ හයක් ජිනේ හම්බ වුනත් මට ජිනේ එක්ක කතාකරන්න වුනේ දවස් දෙකයි..
පලවෙනි දවසේ ජිනේ කලින්ම වෙලඳාම අහවර කර තිබුනා.
“ යමු මහත්තයා දුමක් දාන්න.. මහත්තයා සිගරට් බොනවා නේද? “මම ඔළුව වැනුවා. විශ්වවිද්‍යාලයේ පලවෙනි වසරේ හිටපු මට වඩා අවුරුදු විස්සකට විතර වැඩිමල් ජිනේ එක්ක දුමක් දැමීම වෙනම ආතල් එකක් වුනා.
“ මහත්තයාලා උගත්තු අපි නූගත්තු. මහත්තයලා ඉගෙන ගනී හම්බකරයි. ඒත් අන්තිමට මහත්තයාලත් මැරෙනවා අපිත් මැරෙනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු “ජිනේ අයියා එහෙම කිව්වෙ හෙන ආඩම්බරයකින් වෙන්න ඕනි.
“ මගේ ලොට් එක හැමදාම ඉවර වෙනවා. හම්බවෙන ටිකක් කන්නයි හවසට බාගයක් ගහන්නයි ඇති. ඉතුරු ටිකෙන් හෙට ලොට් එක ගන්නවා. මේක තමා මගේ ගෙදර. “තුන්වෙනි හරස්වීදියේ කරෝල කඩේ ඉස්සරහා පෙට්ටි කඩේ අසෝකා වීදුරුවට දාපු මල්ප්ලේන්ටිය එක අතකිනුත් සිගරට් එක තව අතකිනුත් අල්ලගෙන දෑත් දෙපැත්තට දිගුකරපු ජිනේ දැකපු මට හිතුනේ රැවුල කපපු ජේසු තුමාත් මේ වගේ වෙන්න ඇති කියලා. මම නිහඬවම සිගරට් එක ඉවරකරලා ජිනේගෙන් සමුගත්තේ හමීඩ්ගේ කඩේටත් යන්න උවමනාව තිබුන නිසා.
“ දැන් මට හම්බකරපු දේවල් වලින් කරපු තව වැඩක් තියෙනවා. ඉගෙන ගන්න කොල්ලෙකුට ප්ලේන්ටියයි සිගරට් එකකුයි අරන් දුන්නා කියන එක. “ජිනේ සිනාසෙමින් කීවේය. මම මද සිනාවක් පා ජිනේගෙන් සමුගතිමි.
ඉන්පසු මට දවස් දෙක තුනක් ජිනේ හමුවුවත් මම සිටියේ ඇයත් සමග නිසා ජිනේට සිනාවකින් සංග්‍රහ කර රෙදි යාර තිහ පමණක් රැගෙන යන්නට සිදුවිය..
“ වැල වරකා කරනවා.. යක්කු දමනය කරනවා.. “ජිනේගේ හඬ හැමදාම මෙන් එදත් ඇසුනි..
“ චික් බලන්නකෝ අර මනුස්සයා කියන කතා.. ලැජ්ජාවේ බෑ.. “ඇය එසේ කිව්වා මට මතකය. මම මද සිනාවක් දමා කතාව මගහැර දැමීය..
අවසාන හමුවද ප්‍රථම හමුවට සමානය. වෙනස ජිනේ අළුත් වෙලඳ භාන්ඩයක් කරත්තයට එකතු කර තිබීමය..
“ උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්... “ජිනේගේ කරත්තය ලඟින් එදාත් හිරිඔතප් සහිත ගැහැනුන් ගියේ ලේන්සුවකින් මුහුණ වසාගෙනය. ඒ කරත්තය ලඟින් ගිය කොල්ලෙකු ගිය ගමන් සිය මිතුරන් සමග ජිනේගේ මාකටිං එක බෙදාහදාගත්තේ නැතිනම් එය පුදුමයකි..
“ මහත්තයා රෙදි ඕඩරේ හරි. “කල්පනා ලෝකෙන් මිදුනු මම හමීඩ්ගේ කඩෙන් එලියට බැස්සෙමි. අද ජිනේගේ කරත්තය නැත. සිගරට් දෙකකට පමණක් සීමාවූ ආශ්‍රයක් වුවත් සැබවින්ම ජිනේ මගේ ලෝකයේ වීරයෙකු වී සිටියේය ඒ ඇයිදැයි මම තවමත් නොදනිමි.. තවමත් ඒ හඬ මගේ දෙසවන රැව්දෙයි..
“ උක්කුං පටි බෝල බැලන්ස් පුක් පේපර්.. පුක් පේපර්.. පුක් පේපර්.. “

28 comments:
හොද නිර්මාණයක්... ගොඩක් දේවල් තිබුනා ඒ කතාව ඇතුලේ...
හිතන්න දෙයක් ඉතුරු කරපු නිර්මානයක්.. කට ඇරල හොදයි කියන්න පුලුවන් ! :)
ෂඃ කියලා වැඩක් නෑ.... ෆට්ටම ෆට්ටයි!
නියමයි මචෝ...කාලෙකට පස්සෙ දැකපු සිත්ගන්නා නිර්මාණයක්.විශිෂ්ඨයි.
මොනවා වුනත් ලස්සන වදන් පෙල
මේ බ්ලොග් එක හොඳ වෙලාවට මේන් ස්ට්‍රීට් පැත්තේ අය කියවන්නේ නැත්තේ
:D
කියවනවා නං එහෙම ගිහින් හමාරයි පාර දිගේ
හි හි
ස්තූතියි හැමෝටම..
මම විචාර ලියන්න දන්නේ නැහැ හැබැයි උඹ එලටම ලියල තියෙනවා!! Reader එක බලන හැම වෙලාවෙම උඹ අලුතෙන් මොනවද ලියල තියෙන්නෙ කියල අනිවා බලනවා සිරාම සිරා :D
වෙඩ්ඩගෙ ආරට කිට්ටුද කියලත් හිතුන. මැක්ස !. නිකම්ම නිකම් සීනිබෝල වචන හරබයකින් දමල ගහනව වෙනුවට.ගන්න දෙයක් ඉතිරි කරල තියේ. කියවල සැහැල්ලුවෙන් පාවෙලා යන්න දීල නෑ.පුංචි ඔළුවෙ බරගතියකින් නිමාවෙන පොස්ට් එකක්. නියමයි..
ආයේ පාරක් සුපුරුදු පරිදි උඹේ මැක්සා ලියවිල්ල සුපුරුදු පරිදි සරලව ඒත් බොක්කටම වැදෙන ශෛලියෙන් . . නියමයි බන් . . . අපූරුයි . .
හරිම ලස්සනට ලියලා.ආසාවෙන් කියෙවව්වා.
නියමෙට ලියලා තියෙනවා ආගන්තුකයෝ....අද තමා මේ පැත්තේ ආවේ...දිගටම එන්න තමා කල්පනාවත් ඕං....
මක්ක කියන්ටද අයියා... ඔළුව මඤ්ඤං කරනවා.. ඔළුවට ටොකු අනිනවා... හිත කූරු ගානවා...
අපූරුයි... හරිම අපූරුයි, ජිනේ කෑගහන සද්දෙ මගේ කණ ළඟ ඇහෙනව,
ජිනේ දැනගෙන හිටිය නම්, උඹල දන්නවද මං එක්ක දුමක් ඇද්ද විස්ස විජ්ජාල කාරයෙක් මං ගැන කතාවක් ලියල තියෙනව කියල කියන්නත් ඉඩ තියෙනව.
කවදාක හරි පොතකට එකතු වෙන්න ඕනි කතන්දර.
මාගේ සුන්දර සහෝදරයා.... අතිශය සාර්ළුකයි..තුන්වෙනි පන්තියේ මිනිසුන්ගේ ශෝකාලාපය...
ඹබට ජය !!!
සුපිරියි...වදින්නම ලියලා තියෙනවා
ජිනේගෙ කතාව අපට ගොඩක් දේ හිතන්නට ඉතිරි කරනවා. ඔබේ රචනා ශෛලිය අති විශිෂ්ඨයි. සිද්ධි එකිනෙක ඉදිරිපත් කරන විලාශය, කථාව ගලා යන ආකාරය, ඇරඹුම හා අවසානය, ඒ වගේම කථාව මැද යෙදෙන විවිධ රසබර යෙදුම්, යොදාගන්නා වචන.... සියල්ල මනාව සමබර වෙලා. එක හුස්මට කියවාගෙන යා හැකි නිර්මාණයක්. ජය!
පුක් පේපර් කියන්නෙ මොනවද?
මචං.
කියවලා ඉවර කරන්න නෙමේ හිතන්නත් තියලයි උඹ ලියලා තියෙන්නේ. ඇත්තටම රසයි.
සිරාවටම අර ලිහිණි කිව්වා වගේ කෙට් කතා පොතකට හරි එකතු වෙන්න ඕන නිර්මාණයක්.
ela tawa oya wage ewa daanna
http://rmpmcreation.blogspot.com/
ඇත්තටම සුපිරි...!!!
කාලයක් පිටකොටුවේ රස්තියාදු ගහපු ඒ නන්නත්තාර යුගය සිහිපත් කලා මේ ලිපිය.
නියම ලිපියක් මචං...
ලොවෙත් නැ මචචං...
එ මිනිස්සුත් වීරයො තමයි
නියම ලියවිල්ලක්. සර්වාංගෙටම හීතලක් දැණුන. කුඹුක් අත්තක් උඩ ඉදං වැවකට පැනලා හිටං දිය පලා ගෙන මතුවුන ගානයි.
ජිනේ, ජීවත් වෙන්න ජීවිතය සමග හැප්පෙන මිනිසුන්ගේ පොදු කතාව. විශ්වවිද්‍යාල වල ගිහිල්ලා ගහන ඩිග්‍රිත් එක්ක හරි හරියට හැප්පෙන්න ජිනේලා මාවතේ ඉඳන් හරි හම්බ කරගන්න ඩිග්‍රියටත් පුළුවන්....!
නියම සටහන මලේ...!
මේ වගේ ජීවිත කීයක් පාරතොට වල අපි කවුරුත්ම නොදැන පොලවට පස් වෙනව ඇතිද.... හ්ම්ම්ම්.....
ඇත්තටම හරි අපූරුයි යාළු.සුභපැතුම්! මේ වගේ ලස්සන නිර්මාණ තවත් ලියවෙන්න
MARU.............
Post a Comment