"අනේ මන්දා බං මේ ගෑණිව කොහොම තේරුම් ගන්නද කියලා"ඉන්දිකයා එකපාර බංකුවේ හෙවනට වැවිලා තිබුනු කොට්ටම්බා ගහේ ගෙඩි හොයන්න පටන් ගත්තේ සමහරවිට උගේ කඳුලු මට පෙනෙයි කියලා බයේ වෙන්නත් පුළුවන්...
"ගෑණුන්ව තේරුම් ගන්න යන එක මහ පොල් බූරු වැඩක්. ගෑණු කියන්නේ හෙන විපරීත ජාතියක් බං.. දෙයියො ගෑණිව මවලා තියෙන්නෙ ගංජා ගහලා. ඒත් මට වෙලාවකට හිතෙනවා ඔය දෙයියො කියන්නේ ගෑණියෙක්වත්දෝ කියලා බං."ඉන්දිකයා තාමත් කොට්ටම්බා ගෙඩි සොයයි, උගේ හිත හැදීමට මම යමක් කිව යුතුව ඇත.
"මේ අහපන් දැන් ඒකිට උඹව එපා නම් නිකං පදිරි වෙන්න මොකට යනවාද? මේ ලෝකෙ ගෑණු නෑ කියලා හිතුවද?"මම මූදේ ඉන්නෙ එක මාළුවද යන්න නොපැවසුවේ දැනටමත් හත් අටදෙනෙක් ඌට ඔය කතාව කියා තිබීමට ඉඩ තිබූ නිසාය...
"හැම එකාම කියන කතාව උඹත් කියනවා කියලා හිතුවා නම් මම උඹට කෝල් කරලා ගෙන්නගන්නෙ නෑ.. සිගරට් එකක් බොමුද?"
ඉන්දික ඇතුලට ගොස් සිගරට් ගෙනෙනතුරු මම කල්පනා කලේ එය ගැනය.. තුන් අවුරුදු ප්‍රේමයක්
"මුලින් ලව් කරලා ට්‍රේනින් එක කාලයේ එක පාර නවත්තලා ගෑනි ආයි කැම්පස් ආවම මුගේ කරේ එල්ලුනා.. අන්න ගෑනු.."කට වාචාල කමට ධම්මිකයා එහෙම කිව්වත් කතාව වැරදි නැතැයි මටත් සිතුනි..
ඒත් ඉතිං එපානම් බලෙන් ඉන්නෙ මොකටද? අපරාදේ ලස්සන කෙල්ල... මට ඇගේ රුව සිහිවිය..
"මේ දවස්වල සිගරටුත් වැඩිපුර පෙවෙනවා බං"සිගරට් එකේ කෙලවරින් පිටවුන දුම සහ ඉන්දිකයාගේ මුවින් පිටවන දුම් එකට කලවම් වේ. ඉන්දිකයා සිගරට් බොන්නේ ලඟදී සිගරට් බොන්න පුරුදු වුන එකෙක් වගේ යැයි මට සිතුනි.
"මේකයි මචං සිගරට් එකෙනුත් ගල් බෝතලෙනුත් ලැබෙන දේවල් තියෙනවා නොලැබෙන දේවල් තියෙනවා බොන එක බොන විදිහට බීපන් ප්‍රශ්න විසඳන්න කියලා කන පැලෙන්න බීලා වෙරි හිඳිලා බලනකොට ප්‍රශ්නෙ එතන එහෙම්මමයි"ඉන්දිකයා කොට්ටම්බා ගෙඩියක් සොයාගෙන ඇත. ඌ එදෙසට දුම් පිටකරයි.
"ඒකිට හොඳ ජොබකුත් සෙට් බලපන් මෙහෙම බලුවැඩ කරන එවුන්ටත් හරියනවානේ"උගේ හඬ හැඟුම්බරය. දහස් ගානක් වචන ගොනුකලත් ඌට හිතෙන දේ තීරණය කිරීමට මට නොහැක
"මිනිහෙක්ගෙ කලික්රියාවෙන් ඌට හරියනවාද වරදිනවාද කියලා කියන එක මහා බොරු වැඩක්. ලෝක ධර්මය කියන්නේ මිනිස්සු හිත හදාගන්න හදාගත්තු කතාවක්. එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. මොනා වුනත් උඹ ඒකිට අද වෙනකනුත් ලව්නෙ බං. ඒකි කරපු වැඩේ උඹට අනුව අසාධාරන වෙන්න ඇති. ඒකිගේ පැත්තෙන් මොන අවුල් තියෙනවාද කියලා අපි දන්නෙ නෑනේ, දෙන්නෙක් තේරුම් ගන්නවා කියන එක විකාරයක් අපි කවදාවත් අනිකාගේ ඇහෙන් අනිකා දිහා බලන්නේ නෑ එහෙම බලන්නත් බෑ... අපි අපිට පේන විදිහට අනිකාගේ ප්‍රශ්නෙ දිහාත් බලනවා. සමහර වෙලාවට ඒක අනිකා හිතන එකට සමාන වෙන්න පුළුවන්. හැබැයි ඒ එක අවස්ථාවක් විතරයි කියන එක මතක තියාගනින්.. "ප්‍රථම වතාවට ඉන්දිකයා තිරස්ව බලාගෙන සිටියේය. ඌ බලා සිටියේ ගේට්ටුව දෙසය... සිගරට්ටුව ඇත්තේ මහරගමට ආසන්නයේය...
"ඒකිට මාව මදිවුනා බං! ඒකිට ඕනි පොරක් මම කැම්පස් එක ඇතුලේ පොරක් වුනාට එලියෙදි මදුරුවෙක්ටත් අන්තයිනෙ බං ඒකි එලියට ගියාම පොරක්ව හොයාගත්තා"ඌ සිගරට්ටුවේ අවසාන දුම් උගුර ඇද පිල්ටරය බේඳුරු පඳුර ඇතුලට විසිකලේය. මගේ එක තව ඉතුරුය. මම එකවිට උගුරු දෙකක් ඇද්දේ එය ඉක්මනින් ඉවරයක් දැකීමට අවශ්‍ය වූ නිසාය..
"ආදරේ කියන්නේ කලාවක්. අපිට ප්ලේටෝ කියපු අනික් ලිංගිකයා හොයාගෙන යන්න වෙලාවක් නැති හින්දා අපිට හම්බුවෙන එකාගෙන් සෑහීමට පත්වෙන්න වෙනවා. එතකොට දෙන්නා ගැලපෙන්නෙ නෑ. කවුරුහරි එහෙම නෑ කියලා කියනවානම් ඌ අර මිනිස්සු මට අත්පුඩි ගහනවා කියපු මදුරුවා වගේ එකෙක්. ඒ එන නොගැලපීමට වෙනස්කමට අපි ආදරය කරනවා නම් අන්න ඒක තමා බං කලාව"මම සිගරට් එක තාප්පේ අයිනට විසිකර නැගිට්ටෙමි.. සංවාදය සිගරට්ටුවේ දිගකට සීමා විය. පසුව මම ප්ලේන්ටියක් බී බෝඩිමට ගියෙමි. ඊටපසු මට ඉන්දිකයාව හමුවුනේ නැත. මට ඌව හමුවීමටද උවමනාවක්ද වූයේ නැත.

16 comments:
මට කියන්න මුකුත්ම හිතා ගන්න බැරිව ඉන්නේ මේක කියවලා..
"ලෝක ධර්මය කියන්නේ මිනිස්සු හිත හදාගන්න හදාගත්තු කතාවක්..."
[මේක ඇත්තක්ද..??]
මරු මචං මරු!
ගොඩක් දේවල් වලට මෙතන දීලා තියන අර්ථකතන නම් මරු බං..!
මම උපුටගන්න හිතපු එක සබා අක්කි උපුටලා දාලා...
ඔය කතාව ඇත්ත... මිනිස්සු අන්තිම අඩියට වැටිල වුණත් සැනසීම හොයන්න දෙන පුංචි උත්සාහය වෙනුවෙන් බිහිවුණ සංකල්පයක්නෙ ඔය ලෝක ධර්මෙ කියන එක...
අර කිව්ව වගේ ප්ලොටෝත් ගංජ ගහපු වෙලේක අපේ අනෙක් ලිංගිකයා හොයාගෙන යන කතාව කිව්වට අනෙකා හොයන එකත් අර මම හොයනව වගේ වැඩක්. අනිත් අතට අපේ අනෙකාව හොයාගන්න ඉස්සෙල්ල තමාව හොයාගන්න එපැයි. හොඳින් හෝ නරකින් වෙන දේවල් ටිකක් වෙනවා... අපි පස්සෙ ඒවට තේරුම් හොයනවා... ඒ වෙන ඩිලේ එකනං මාර අපරාදෙ කියල තේරෙණකොට ඉවරයි!
එල එල ඉතිං ඕක කියන්න ඕන නෑනේ...
මට මේක කියවද්දි හිතුනෙ ඉන්දිකයා කියන්නෙත් උඹ(මේ කතාවෙ මම) තුලම ජීවත් වන තවත් චරිතයක් කියලයි. ඒ කිවුවෙ තමන් එක්කම කරන සංවාදයක්.
ගොඩක් දේවල් ලියවිලා තියන සිරා සටහන. කීප වතාවක්ම කියෙවුව.
සිරා!
මම නම් කියන්නේ ලෝක ධර්මය කියන්නේ අර ඇච් කිව්වා වගේ එකක් තමා.. එහෙම එකක් නෑ.. එහෙනම් ලංකාවේ උඩ තැන්වල ඉන්න ඕනි ඔක්කොම හොඳ මිනිස්සු... අර රේවන් කියනවා වගේ මේක ඇතුලෙම වෙන සංවාදයකටත් ටිකක් සමානයි.. මොකද මෙතන ඉන්නෙ අමාරුවේ වැටුන තමා සහ අමාරුවේ නොවැටුන තමා..
මටත් මේ ලිපිය ගැන හරියටම මොකක් කියනවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ . .
අර මූදේ මාලු කතාවයි පදිරි කතාවයි ත් ඉන්දිකට කට්ටිය කියලා තියෙන හින්දා . . .
අනේ මන්දා බන් . .
කෙල්ලෝ හොයන්නේ පොරවල්ලා තමා. හැබැයි එක එක ජාතියේ පොරවල්ලාට තමා එක එක කෙල්ලෝ කැමති. ඔය කියන කෙල්ල අරූව දාලා ගියේ කොතනදීද ආන් එතනදී අරූ පොරක් නෙමෙයි... ඒ කියන්නේ ගෑනිට ඊට වඩා පොරවල්ලාගේ රහ දැනිලා තියෙනවත් ඇති (නොකිව්වට)
ඕක තමා ජීවිතේ කියන්නේ මචන්..! පොඩිකාලේ කෙල්ලෝ ආස බෝනික්කන්ට, කොල්ලෝ වෙච්චි අපි ආස යෝධයින්ට.., කරුමේ කියන්නේ ලොකු උනාම කෙල්ලො ආස වෙන්නේ යෝධයින්ට අපි ආස කරන්නේ බෝනික්කන් ට.
එක අතකින් මූව කෙල්ල තවදුරටත් අතරමං කරන්නේ නැතුව වෙන සතක් බලාගත්තු එකත් එකක්..! නැතිනම් ඒකෙනුත් කරදරේ මූටමයි..!
මේවා අපි හැමෝගේම පොදු සාධක..,උඹ ලිව්වට මේක හරහා අපි කියවන්නේ අපි ම ගැන කියලයි මටනං හිතෙන්නේ..!
මෙහෙම දේවල් වලට වචන හොයන්න තරම් මම දියුණු නෑ. ඒක හින්දා මම මොකුත්ම කියන්නේ නෑ..
මේ දේවල් මේ විදිහටම කියලා පිළිගන්නත් මම කැමති නෑ ඔන්න.
@ raven - සිරාවට දෙන්නම එකම වෙන්න ඕන.. මොකද මේ ටික වෙලාවෙදි මේකා එක සිගරට් එකක් විතරක් බිව්ව වෙන්න බෑ... සිගරට් දෙකතුනක්වත් බීල තියෙන්න ඕන... ඒ කියන්නෙ මූයි ඉන්දිකයයි දෙන්නම මූ ම තමයි.
මොනා කියන්නද... කෙල්ලො කියන්නේ තේරුම් ගන්න තියා හිතන්නවත් බැරි කොටසක්... එක්කො දෙයියො පිරිමි එක්ක ලොකු මලක් ඇතිව තමා ඔය ගෑනු මැව්වෙ... අනේ මන්ද බොල... ගෑනු ගැන මේ දවස් වල හිතන්නෙවත් නැහ.
ඉන්දිකයාට ද මා හවුවෙන්නට උවමණාවක් කිසිසේත්ම නොතිබුණු බව දැන් පැහැදිලිය.
නිමි.
උඹ අළුත් පෝස්ට් එකක් ලියනකන් හැමදාම වගේ රීඩර් එක බලනවා අනේ මන්දා උඹ ලියන හැම දේම හිතට මාර විදිහට වදිනවා එවා ඇඟට දැනෙනවා. කථාවෙ ඇත්ත නැත්ත මම හොයන්න යන්නෙ නැහැ නමුත් අපේ ජීවිතයට මොහොතකට හරි එන අය වෙන්වෙන කොට දැනෙන ඒ හැඟිම් උඹ ලියල තියෙන හැටි අපූරුයි.
ආගන්තුකයාගේ ආදරයේ මිහිරි මතකයන් මාර වෙනස් විදිහට ලියලා තියෙනවා. දැන් තමා මටත් මේවා තේරෙන්නෙ. උඹ ඒ දවස් වල කිව්ව කියවීමේ කලාව ගැන.
ප.ලි - මේකෙ තීම් එකේ පාට කැතයි කියලා උඹට කවුරුත් කිව්වෙ නැද්ද. කියවන්න අමාරුයි.
නියමයි මචං! නමුත් කෙනෙක්ට ඕනි උනාම ඕනිම දෙයක් ඕනිම විදිහකට කියන්න පුලුවන්. ලෝක දර්මයක් නම් මම දන්නේ නෑ. නමුත් මචං හැඟීම් කියන්නේ බොරුවක් කියන එකනම් මම දන්නවා. ඒ උනාට අපේ ජීවිත වලට කික් එකක් එන්නේ ඒවායින්. උබ මේක ලස්සනට ලියලා තියෙන්නෙත් මේක කියෙව්වහම උඹ නම් නියමයි කියල මට හිතෙන්නෙත් ඒ හින්දම තමයි...
Post a Comment