8.03.2012

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ආච්චි මතක් කරන නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා තවමත් මට නිච්චයක් නැත. කෙසේ වෙතත් අපි එකල ඩිංගිරි ආච්චිට බයවීමු.


ගඳපාන ගාලවලින් පිරුනු විදාන වත්තේ ඩිංගිරි ආච්චිගේ වරිච්චි ගෙදර තිබුන ඉඩ ප්‍රමාණය පමණක් එලි කර තිබුනි. පහල කුඹුරු යායත් විදානවත්තත් බෙදාවෙන්කරන ඇල්බීසියා වැටේ සාදාගත් සිදුරකින් ගඳපාන ගස්වලින් පාදාගත් ගඳපාන ගුහාවලින් ඩිංගිරි ආච්චිගේ මන්තරකාර වැඩගැන ඔත්තුබැලීම පාසල් ඇරී ගෙදර ආවාට පසු අපගේ මූලික කාලසටහනට ඇතුලත්ව තිබුන ක්‍රියාවලියකි. 

විටක ඩිංගිරි ආච්චි කළුපාට මුට්ටියකට හාල් දමා ලිපේ තබයි. පසුව ලිප ලඟ ඇණ තබාගෙන මොනවදෝ ගින්දර වලට මතුරයි. 
" ඹය බත්වලට මතුරන්නේ අපිව මරන්න. ඔය බත් කෑවම කටින් ලේ දාගෙන මැරිලා වැටෙනවා. " 
නුවන්ගේ ඒ කතාව දැන් මතක්වනවිට සිනහ නැගුනත් එවෙලේනම් මම බයවුනා මට තාමත් මතකය. 

ඩිංගිරි ආච්චිගේ ගේ ඉදිරිපස තිබූ පිණිජම්බු ගසේ ගෙඩි කැඩිය යුත්තේ හවස පහත් හයත් අතර ඩිංගිරි ආච්චි විදාන වත්තෙන් පිටවූ වෙලාවක පමණි. වෙනත් වෙලාවක ජම්බු කෑම පිණිජම්බු ගසේ සිටින බහිරවයා නුවනයාගෙත් මගෙත් බොටුව කඩාගෙන ලේ බීමට හේතුවක් වනු නිසැකය. 

මේ මට මේ වෙලාවේ මතකයට නගා ගත හැකි සිද්ධි දෙකකි. මීට වඩා අනන්තවත් දේවල් විදානවත්ත තුල සිදුවුනත් මට ඒවා දැන් මතකයට නගාගත නොහැක්කේ මම ඒවා අමතක කර ඇති නිසාද නැත්නම් මට ඒවා මතක තියාගැනීමට වුවමනාවක් නොවූ නිසාදැයි මම නොදනිමි. 

කෙසේ වෙතත් පහවසර ශිෂ්‍යත්ව විභාගයට සමත් වීම නිසා ඩිංගිරි ආච්චිගේ වැඩ ගැන සෙවීමට පත්කල ඔත්තුකරුවන් දෙදෙනා රොබින්හුඩ්ට අහිමිවිය. 

මම නිවාඩුවට ගෙදර එනවිට විදානවත්ත එතන තිබුනේ නැත.

................................................................................................................................................................. 

පෝය දවසේ රෙදි ටික හෝදා දමා හෙඩ්ෆෝන් එකත් එක්ක දුමක් දමාගෙන දුමේ හැංගිලා හෙඩිෆෝන් එකේ වයර් දිගේ මගේ කන් දෙකට ආපු පහල සින්දුවත් එක්ක මම ආයි ඩිංගිරි ආච්චිගේ මතකය එක්ක සෙල්ලම් කරන්න ගත්තා. ඒක ඉවර වුනේ මේ පෝස්ට් එකත් එක්ක. 



බැලූ සැමට ස්තූතියි.. 

5 අදහස්:

kalaboy said...

මටත් ඇඹිලිපිටියේ ගෙවුණු ළමා කාලයක් වගේම තරුණ කාලෙකුත් තිබුන.ඩිංගිරි ආච්චිට වගේ මම බය උනේ උදේ හවස යන එන පාරේ තිබුන සෙවන කඳවුර දැකල.....!

කතන්දර Kathandara said...

කඳවුර, සූරියකන්ද...
ඒ සේරම හරිම දුරස්ත මතකයන් විතරයි නේද?

hare :-) said...

ගෙට හේත්තු කරල ‍අර අහසින් යන ඉදල තිබුණෙ නැද්ද? ඔය මිහිර පත්තරේ බටකොල ආච්චිගෙ කතා තැනින් තැන කියවල මම හෙන ආසාවෙන් හිටිය ඉදලක නැගල යන්න.

සින්දුව නම්!

Beetle said...

දෙපාරක් ඇහුවෝ...!!

ආගන්තුකයා | Stranger said...

දුරස්ථ මතකයන් නම් තමා කතන්දර.. ඒත් ඒකේ තාම මම ජීවත් වෙනවා.
සින්දුව ගැන නම් ඉතිං කතා කරන්න දෙයක් නෑ තමා හරේ.. මිහිර පත්තරේ මාත් පොඩිකාලේ පිස්සුවෙන් වගේ කියෙව්වා. අර ඇන්කර් මිහිර ලමා හපන්නු කාඩ් එකකුත් මට ඒ කාලේ ඇවිල්ලා හිටියා.
කලාබෝයි - සෙවන කඳවුරට කාලයක් ඒ පැත්තම බයවෙලා තිබුනා. අවුරුදු තුනක් විතර ඒ බය තිබුනා කියලා මතකයි.
බීටා පුළුවන්නම් මුන්ගේ ඇල්බම් ටික හොයාගෙන බලපන්. ඔය උඩ හරේෂ් ලොක්කා වෙනම පෝස්ට් එකකුත් ලියලා දාලා තිබුනා. වැය කරන වෙලාව පාඩු නෑ සින්දු ටික ඇහුවාම..