6.23.2010

අනේ මහතුනේ පිනට යමක්..


මැහැල්ලකි...
අයැදීය
අනේ මහතුනේ පිනට යමක්..
වැටේද..?
ඉඳහිටවත් මුදලක්
අතරැඳි බඳුනට...
ජසිරි බෝමැඩට යන
මල් දෝතක් පුරවා
සුන්දර දේහමත වැජඹුන
විතරාගය මුසුවූ
දෑත්
දිගුවූයේද...?
ඈ වෙත
කරුණාවෙන්...
ශ්‍රද්ධාව උතුරා යන
කාන්තිමත් දෙනෙත්
බැලුවේද...?
ඈ දෙස
අනුකම්පාවෙන්...
සනාතන දම් තෙපලූ 
රත් පැහැ දෙතොල්..
විවරවීද ඈ හට
මෘදුව...
දැන දැනම එය අයැදීය ඈ...
‘අනේ මහතුනේ පිනට යමක්‘

6.09.2010

දකුණු පැත්තේ උරහිසින් පහලට වැටුන මගේ සයිඩ් බෑගය කලවේ වැදීමෙන් තිබුන කරදරය මගහරවා ගැනීමට මම බෑගයේ පටිය මහපටැඟිල්ලෙන් ඔසවා නැවත උරහිසට දමාගතිමි. බස්ර‍ථයේ රියදුරු මම බලාපොරොත්තු වූවාට වඩා කලින් මාව ඇරලවා ඇත.
"දමිත් ර‍ණවක"
පොන්ටින් කට් එකක් එක්ක ලාවට කෘන්තක දත් දෙකක් පේන්න හිනාවෙලා ඉන්න මූ‍ණ පැත්තෙන් අවමංගලා‍ධාර සමිතියේ නිවන් සැ‍ප ලැබේවා යන වචන තුන කළුපාටින් ඇඳ තිබුනි.

"මාත් එක්කම ලයිෂන් එක ගන්නකොට ගත්තු පොටෝ එක..."

මම හිතේ තිබුන ‍ඡායාරූපය සමග බැනරයේ තිබුන ඡායාරූපය සංසන්දනය කර අදහස ස්‍ථිර කර ගතිමි.‍
"නෙළුව හන්දියේ ඉඳන් කිලෝමීටර එක හමාරක් විතර ආවම නන්ද ස්ටෝර්ස් කියලා කඩයක් ඇති අයියා එතන ඉස්සරහ පාරෙන් පල්ලෙහාට බහින්න."
දමියා ගෙන් මම අසාගත යුතුව තිබූ මාර්ග සලකුණු මට නවෝදා නංගිගෙන් අසා ගැනීමට සිදුවී තිබුනි .

මම ජීවිතේ පලවෙනි සිගරට් එක බිව්වේ දමියා සමගය. එදා දමියා කහිනු දැක සිනාසුනු මගේ සිගරට් එක නිවුනේ මම කබරයෙකු දැමීමත් සමගය.
"තනියම සිගරට් බොන්න එපා බං බොන එකක් මාත් එක්ක බීපං සිගරට් බොන එකේ ඩයලොග් එක රසවිඳපන්. තනියම බිව්වත් තමන් එක්ක හරි කතා කර කර බීපං‍. කවදා හරි දවසක අපිත් එක්ක තනි රකින්න ඉතුරුවෙන්නේ මූ විතරයි බං." 
දමියා දුම දිහා බලාගෙන එසේ කිව්වා මතකය.

අළුත ගොයම් කපා තිබූ ලියද්ද මත එලදෙනක් උලාකයි. මම අවුරුදු විස්සක් තුල ඒමට අතපසු කල ඒ ගමන අද දමියා විසින් මට එන්නට සිද්ද කර ඇත.‍
         මග කඩේකින් සිගරට් එකක් පත්තුකරගෙන එලියට බහින විට මම කිලෝමීටර බාගයක් විතර ඇවිත් තියෙන්න ඇති.මම සිගරට් එකත් ඇද ඇද නැවත නන්ද ස්ටෝර්ස් සොයා ඉදිරියට ඇදෙන්නට විය.
"මම සිගරට් එකට මෙච්චර කැමති මේකෙ දුම ඇතුලට ඇදලා රත්වෙලා තියෙන බොක්කට ගන්න පලවෙනි හුස්ම මාර කූල් එකක් තියෙන හින්දා හරියටම කියනවානම් ඒකෙ තියෙන්නෙ මාර මෙව්වා එකක්. "
මම සිගරට් උගුරක් ඉහලට ඇද පිටකර පසුව ගැඹුරු හුස්මක් ඉහලට ඇද දමියාගේ මෙව්වා එක සෙවීමට තැත් කලෙමි.
          දුම්රියේ රෝදය දමියාගේ බඩ උඩින් ඇදීගොස් තිබුනි. අවාසනාවට දමියාව අඳුනාගන්නට සිදුවූයේ මටය. එතැන් පටන් මේ මොහොත දක්වාම දමිත් රණවක නම් ද්‍රෝහියාට දෙස් දෙවොල් තබමින් මම ඇවිදගෙන යමින් සිටිමි.
"වල් පරයා වගේ කො‍ණ්ඩේ වවන්නේ නැතුව ඕක කපලා දාපං. ඔයිට වැඩිය දේවල් මිනිස්සුන්ට වෙනවා."
"නෑ බං මම මේ වවන්නේ අවුරුදු තුනක් තිස්සේ වවන්න බැරිවුන මගේ ඇරියස් එක බං" 
උගේ මරණයට සතියකට පෙර මම කියපු කතාවට පිලිතුරු විදිහට මට මේ ගමන එන්න සිද්ද කල ඒ පරයා  සිනාසෙමින් එහෙම කිව්වා මතකය.
"ලව් කියන එක හිතුවට වඩා අමාරුයි බං ඒකි එක්ක හිටපු හැම තත්පරේම ඔළුවෙන් අයින් කරන්න එක්කො මම දවසම බඩු ගහන්න ඕනි, නැත්නම් උදේ පාන්දරම බීලා සිගරට් බිබී වෙරි බහින්න නොදී තියාගන්න ඕනි, නැත්නම් කෝච්චියට පනින්න ඕනි‍ මෙහෙම කරනකොට ඉවරයි."
මැදගිල්ලත් මාපටැඟිල්ලත් එකට තබා ටක් ගාලා සද්දයක් දාමින් දමියා කිව්වේ වියරු සිනාවක් එක්කය
අවසානයේ දමියා අවසාන තීරණය ක්‍රියාත්මක කර ඇත. මට දුකකට වඩා ඇත්තේ කේන්තියකි.‍එය‍ නිමා නොවන කේන්තියකි.. මම බසය තුල කිලෝමීටර දෙසිය ගාණම පසුකලේ ඒ කේන්තියෙන් පැසවමිනි.

නන්ද ස්ටෝර්ස් එක පහල පාරෙ ලයිට් කණුවකට ඉණිමගක් තබාගෙන සුදු පොලිතීන් කොඩි වැලක් ගැට ගසන මාමා කෙනෙකු
"පුතේ ඇතුලට යන්න"
යැයි පැවසුවේ මාව අඳුරගෙනද නැත්නම් මනුස්සකමටද කියලා මට තේරුනේ නැත.

"අප්පා මම මලොත් නම් මිනිය දවසකට වඩා තියාගන්න දෙන්නෙ නෑ.."
"එතකොට මිනිය දවසකට වඩා තියාගන්නවාද කියලා බලන්නඋඹ ජීවත් වෙලා ඉන්නවද බලපංකො.."
මම දමියා කියපු කතාවට එහෙම කින්ඩියක් දැම්මා මතකය..

අන්දර වවා තිබුන වැට මැද කළුපාට ගේට්ටුවෙන් ඇතුලට යනකොට රතුම රතු පාට තාම කඳුලු හරියට වේලිලා නොතිබුන නවෝදා නංගිගේ දෙනත් මාව සොයාගෙන තිබුනි.
"යං අයියේ ඇතුලට..!"
මම සෙරෙප්පු දෙක ගලවා ඇතුලට අඩිය තිබ්බෙමි..
අභයගේ මගුලටවත් කෝට් එකක් නොදැමූ දමියා කෝට් එකක් දමා මද සිනාවෙන් යුක්තව වැතිරගෙන සිටී.. ‍
"වල් පරයා" 
ඇත්තටම මට අඬන්නට වුවමනා වී තිබුනි. අවාසනාවට මට හඬන්නට නොහැකි විය..

6.07.2010

අළුත්ම කලාපය නිකුත්වුනා..

6.03.2010

තවමත් මම ජීවතුන් අතර...

හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන..
පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්ක
ගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමා‍ශය..
නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලා
ක‍ණ්නාඩියට මූණ හංගන්න
වවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න..
හෝදන්න හිතුන නැති කපු කමිසයත්..
පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යන‍
මට අනුකම්පා කරපු...
කාණු පල්ලේ ප්‍රේමය....! 
තවමත් මම ජීවතුන් අතර....