Skip to main content

ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

"මහත්තයා මේ මගේ නංගි නන්දා.."
විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි..
"මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.."
බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත..
"එහෙනම් මම යන්නම් අයියේ..."
කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය..
"යන්නම් මහත්තයා..." 
ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි...
විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය.
           අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පින්සිද්ද වන්නට මමත් මුලින් විමලේ අංකල් ගැන නිගමනය කලේ එසේය...
"ඕකි මගේ නංගි"
විමලේ අංකල් හඬ අවදි කලේය...
"බැන්දෙ අවුරුදු 17න් ඒකාලෙත් කළුයි ඒ වුනාට ලස්සන කෙල්ල, මගේ මස්සිනා ඒ කියන්නේ ගුණපාල ඒ කාලෙ පොතුවිල් වල හිටපු හොඳම හෝටල් කාරයෙක්, නන්දාට වඩා අවුරුදු පහයි වැඩිමල්.. ඌ මේකිව දැකලා මගෙන් කෙලින්ම ඇහුවා.. අම්මත් තාත්තත් නැති එකේ මම මොනවා කරන්නද මහත්තයා.. මම ඇහුවාම නන්දාත් කැමතියි කිව්වා. චාමෙට ලස්සන මගුලක් කලා, නන්දා ගුණයාගේ ගෙදර ගියා.."
"එහෙනම් අපිට කෑම ගුණපාලගේ කඩෙන් ගන්න පුළුවන්නෙ" 
පොතුවිල් වල දන්නා කඩයකින් කෑම ගැනීම කෝකටත් හොඳය..
"දැන් කොහෙද ගුණපාලයෙක්.. හරියටම බැඳලා අවුරුදු දෙකයි වුනේ.. නන්දාට ලමයෙක් හම්බවෙන්න හිටියේ, මහත්තයාට පරක්කු වෙනවාද? " 
"නෑ නෑ..." 
මට එවෙලේ තිබුනේ කතාව ඇසීමේ උනන්දුවකි.. විමලේ අංකල් කාමරය ඇතුලට ගොස් කරන්ට් තිබේදැයි පරීක්ෂා කර බලයි..
"මේන් ලයින් එකේ රෙපයාර් එකක්ලු තව ටිකකින් එයි" 
විමලේ අංකල් එහෙම කියන්නට ඇත්තේ මම කලිනුත් කරන්ට් නැති එක ගැන පැමිණිලි කල නිසා වෙන්නට ඇති..
"නෑ ප්‍රශ්ණයක් නෑ, කොහොමත් අපි කාලා එහෙමම බීච් එකට යනවා..."
"දවසක් එකපාර කොටි වගයක් ආවා උන් ආවේ වෑන් වලින්.. සිංහල පිරිමි පහලොවක් අරන් ගියා රෑ කැලේදී ඔළුවට පොරවකින් ගහලා උන් ඔක්කොම මරලා දාලා.. "
මට අමුතුවෙන් ගුණපාල එතන සිටියාදැයි අසන්නට උවමනාවක් නොවීය.. මෙවෙලේ නන්දා හිටියානම් අඬන්නට ඉඩ තිබුනි. නමුත් විමලේ අයියා ඇඬුවේ නැත..
"ඒ කාලේ නැගෙනහිර කොටි නායකයා දැන් ඇමති කෙනෙක්.. සටන් විරාම කාලේ තමා උන් ඕනි ඕනි විදිහට මිනිස්සු මරන්න ගත්තේ. ඒක නිසා මම අලියාට කතිරෙ ගහන්නේ නෑ.. ජනාධිපතිතුමා යුද්දෙ ඉවර කරලා මගේ මස්සිනා මරපු එකාට ඇමතිකමක් දුන්නා.. මම ඊළඟ ඡන්දෙ කාටද දෙන්නෙ මහත්තයෝ.." 
සිය දේශපාලන ස්ථාවරය නාඳුනන මිනිසුන් සමග කතාකිරීම අන්තරාදායක නිසාත් මට ප්‍රමාද වන නිසාත් මම යන්නට හැරුනි..
"පොතුවිල් වල අරක්කු ගණන් වැඩියි ගන්නවානම් මහත්තයලට සියඹලාණ්ඩුවට යන්න වෙනවා.." 
"හා හරි.." 
මම ආපසු හැරීවත් නොබලා ආරුගම්බේ වෙරලට ඇවිද යාමට පටන් ගත්තෙමි.. ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

Comments

හ්ම්... උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ..
h said…
පට්ට කියල දානවට උඹ කැමති නැති නිසා වෙන ලියන්න එකක් නෑ මට!

ඔය දේශපාලන අස්ථාවරය දැන් බෝවෙම්න් තියෙන එකක්. ඒත් ඇත්තටම විකල්පයක් නැති ගැටළුව කිටත් පොදුයි... වැඩේ කියන්නෙ.... නෑ... ඒක කියනවට වඩා කට ගලක උලාගන්න එක හොඳයි....
Anonymous said…
සිරා
මේ කාලේ හැටියට දරන්න තියෙන්නේ පාවෙන දේශපාලන මතයක්.., අනික මේ ලියනම කියවන කොට මට දැනෙන්නේ හරි තනිකමක්..! ඇයිද මන්දා..!
වන්නි said…
"දේශපාලන ස්ථාවරය නාඳුනන මිනිසුන් සමග කතාකිරීම අන්තරාදායක නිසාත්" නාඳුනන්නේ නැති වුනත් ඒ ගැන කතා කිරීමේ අකමැත්ත මත හැරී යමි.
ප.ලි : හාමුදුරුවරු කපා කොටා මැරූ එකා ඇමති වූ රටේ... මහ කොටියා මරා දමා යුද්දය නිමාවට මෙහයවූ සෙන්පතියා දඟ ගෙයි දැමූ රටේ නොදන්න දෙමලට ගොස් වරිගෙ නහගන්නට බැරි නිසා මොකුත් නොකියා ඉන්නම්.
Anonymous said…
කොට කරපු දිග කතාවක්! උපරිමයි!!
charmi said…
මේ නාඳුනන මිනිස්සු එක්ක අපිට කතා කරන්න දේශපාලනයක් නෑ මං හිතන්නෙ. ඒ මිනිස්සු දේශපාලනය ඉගෙන ගත්තෙ මහ පොළොවෙන්. අපි දේශපාලන වාචාලයන්ගේ සහ මීඩියා කාරයන්ගෙ ප්‍රබන්ධ වලින්.
charmi said…
මම ඇත්තටම කැමතියි මේ කතාවට...
චමිල said…
"ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ..."
හදවතටම දැනුනා....
ඇත්තටම උපරිමයි..!!
මිනිහෙකුගෙ කටින් ගිළිහුණු එක වැකියකින් ලාංකික දේශපාලනය මොනවට පැහැදිලි කරලා. ලස්සනට, සරල ඉදිරිපත් කිරීමකින් හුඟක් ගැඹුරු විග්‍රහයක් කරන රචනයක්. අපූරුයි.
අපේ රටේ දේශ පළනය ගැන කතා කරනවට වට වඩා හොදායි,,කක්‌කුස්‌සි වලක වතුර බොන එක...ඒක රටේ දෙශ පලනයට වඩා රහයි..

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…