10.20.2010
පෙර ලියමි
මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි...
ලසිත සොයුර,
ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි.
තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට මේවා ලැබුනේ නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්වුවත් ඉන් අනවශ්‍ය ප්‍රශ්න මතුවේයැයි ඇතිවූ බිය නිසා ඒ අදහස අත්හැර දැමුවෙමි. ඔබගේ පසුම්බියට විද්ද ගැටකපන්නා එහි තිබූ වටිනා දෑ පැහැර ගෙන මෙහි අඩංගු දෑ මහමගට විසිකර පලා යන්නට ඇත. එවන් අවස්ථාවක මා මේ දේවල් රැගෙන ඔබ හමුවීමට පැමිණියානම් මා හට ප්‍රශ්න රැසකට මූණ පාන්නට වෙනවා නොවේද? ඒ ගැන උගත් සිසුවෙකු වශයෙන් ඔබත් මොහොතක් සිතා බලන්න.
මටත් තිබුනා මේවා ගියත් එකයි නැතත් එකයි කියල ලියුම් කණුවකට දාලා එන්න ඒත් එහෙම කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ මොකද කිව්වොත් මේ අහිංසකයා දුප්පත් අයෙක් නම් රියදුරු බලපත්‍රයයි ජාතික හැඳුනුම්පතයි ගන්න තව කොච්චර කල් දුක් විඳියිද? වියදම් කරන්න සල්ලි ඇත්ද? යනාදි සිතුවිලි ගැන මසිතට ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇතිවූ නිසයි. මගේ මිතුරන් කිහිපදෙනෙකු කිව්වා ඔය අහක යන කුණු කරේ දාගන්නේ නැතුව ඔය ටික ලියුම් පෙට්ටියකට දාන්න කියලා. නමුත් මගේ හිත කිව්වෙම මේ ටික අයිතිකරුගේ අතටම පත් කරන්න ඕනේ කියන ස්ථිර නිගමනයයි. අන්න ඒ නිසාමයි මම මෙය රෙජිස්ටර් තැපෑලෙන් එවන්න තීරණය කලේ. හොඳ කිතුණු බැතිමතෙකු වූ මම අප අදහන ආගම දහමට අනුව යමෙක අමාරුවේ වැටුනු විටක ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වනවා මිස මගහරින පුරුද්දක් අප ලඟ නැහැ. අන්න ඒ නිසයි මෙතරම් කැපවීමකින් මගේය කියන් හැඟීමකින් ඔබට උදව් කරන්න පෙළඹුනේ. මේ උපකාරය ඔබ කෙලෙහිගුණ දන්නා අයෙක් නම් ජීවිත කාලයටම මතකයේ රැඳී තියේවි. යම් කෙනෙකුගේ විපතකදී ඔහුට අප උපකාර කලොත් අපේ විපතකදී ඒ කල උපකාරය නැවත ආපසු අප කරා පැමිනෙනු ඇත. එයයි දේව වචනය. මෙපමණ උනන්දුවකින් මා මේ උපකාරය ඔබ වෙනුවෙන් කරන්නේ ඔබගෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්න නොවන බව ඔබට වැටහෙනවා ඇත. කෙටියෙන්ම කිවහොත් මම ඔබ කළුද සුදුද කියාවත් අඳුරන්නේවත් නැහැ නේද? කවදා හෝ දිනක යලි අපි කොහේදී හෝ හමුවන්නත් පුළුවන් හමුනොවෙන්නත් පුළුවන්. එය දෙවියන්ටම බාරයි. කවදා හෝ රාගම+ ලකුණින් මා ඔබ ඇමතුවොත් ඒ ඔබට උපකාර කල ඔබේ නුදුටු මිතුරා බව පමණක් හඳුනා ගන්න. එපමණයි ඉතින් ඔබට සුබ අනාගතයක් පතමින් නවතින මා
නොදුටු මිතුරා
රාගම+
ජේසු පිහිටයි/තෙරුවන් සරණයි
09/10/2010
පලි,
ආපසු ලිපිනය ව්‍යාජ එකකි
ඒ පසුපස නොයන්න.. පසුව මගේ සත්‍ය තොරතුරුත් දුරකථන අංකයත් දන්වා එවන්නම්..
අවසානයට ලියමි..
ලියුම ලැබුන දිනට පසුදින මට දුරකථන ඇමතුමක් ලැබින. රාගම+ ඔහුගේ ජංගම දුරකථනයෙන් මා ඇමතීය.. ඔහු මා අමතා ඇත්තේ මට ලියකියවිලි ලැබීදැයි දැනගැනීමටය. මම ඔහුට ස්තූතියි කිව්වත් එය ඹහු කල උදව්වට සරිලන්නේ නැත. මම මොහු පසුම්බියේ අනික් අයිතිකාරයා යැයි හීනෙකින්වත් නොහිතන්නට තරම් මේ සාධක ප්‍රමාණවත් යැයි සිතමි. නැවතත් ස්තූතියි රාගම +
යොමුව : පුරාණ, මනුස්සකම්, යටගිය දවස, සිතන්නට දෙයක්....
Subscribe to:
Post Comments (Atom)



13 අදහස්:
වැදගත්ම දේ මේ ලියුම ලියා ඇත්තේ රියදුරු මහතෙකු වීමය. මිනිසා යනු උගතා නොවන බව මට පෙන්වා දුන්නු තවත් පොරක්...
කියන්න දෙයක් එන්නෙ නෑ.. ඉස්සර සිළුමින බලන කාලෙ තිබුණ නෙළුම් විල කියල පිටු බාගෙක කෑල්ලක් (තාම තියේද දන්නෙ නෑ...) ඒකෙ තියෙන්නෙ මිනිස්සු කරපු හොඳ වැඩ... අපරාධ දූෂණ වංචා ගැන පිටු 30ක් විතර තියෙද්දි හොඳ මිනිස්සු වෙනුවෙනුත් පිටු බාගයක් තිබුණා.
උඹට මොනව වුණත් හොඳක්! හොඳ නොදුටු මිතුරෙක්!
අර කිව්ව වගේ මනුස්සයා කියන්නෙ උගෙ මනුස්සකම හැර වෙන මුකුත් නෙවෙයි.
රාගම+ ට මගේ හද පිරි ආචාරය!
මනුස්සකම පිරි උතුම් වැඩක්
රාගම+ ඔබට ජය....
රියදුරා උගතෙක් වෙන්න බැරිද?
@දිනේෂ්: උගත් උනානං රියදුරු රැකියාව කරන්න විදිහක් නෑ. ඔහු බුද්ධිමත් ඒකයි වෙනස.
රාගම+ ට ජය සහ ජේසු පිහිටයි!
නොමිනුසුන් රජයන ලොවක අපට ජීවත් වන්න බලාපොරොත්තු සපයන රාගම + වැනි මිනිසුන් වාසනාවන් . . .
ඔහුට ජේසු පිහිටයි කියා මමත් පතමි . ..
හැමදේම සල්ලිවලට යට වෙන සමාජයක මනුස්සකම් ඉතුරු කරන් ඉන්න මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුණු එකත් සතුටක්...............
මමත් ඉස්සර නෙළුම් විල කියවනවා මොකද ඒකේ තියන මනුස්සකම කියවන එක හිතට ලොකු සහනයක් නිසා.නෙළුම් විල කයවද්දි දැනුන හැඟීමට සමාන හැඟීමක් හිතට ආවා මේ ලිපිය කියවද්දි..
අපි හිතන තරම් ලොකේ නරක නෑ කියලා දැනුනා..
රාගම+ ව දකින්න ආසයි.. දැකලා කතා කරන්න ආසයි..!
තවමත් මිනිසුන් ජීවත් වෙන භව දැන ගැනීම සතුටක්.(රාගම + අපිට අමතක නොවෙන කෙනෙක් වෙන්නේ එකයි. බල්ලෙක් මැරිලා හිටියත් උදේ දවල් දෙනො දාහක් යන පාර මැද අනේ අපිට මොකද කියන මිනිසුන් ඉන්න රටක මේ වගේ අය රත්තරන්
මිනිසත් කම තාමත් අපේ මිනිස්සු ලග රැදිල තියනව කියල හිතෙනව.
පහදා දුන්න රාගම+ ඔබට සමදා ජය..
බුදු සරණයි!!
රාගම+ ට ජය සහ ජේසු පිහිටයි...!
හොඳ මිනිස්සු ......
Post a Comment