3.14.2010

මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි...

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි.
සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.
 "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.
   ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි...
"ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො"

"මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ"
"මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ"
ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්සකම නිසා වෙන්න ඇති.

"මම ඕකි යනවා කියලා දන්නෙත් නෑ අඩුගානේ ඕකිට මට කියන්න තිබුනා, මාත් තාත්තා කෙනෙක්නෙ මහත්තයො මට උන්ට කන්න අඳින්න දුන්න එව්වා අගේ කොරන්න බෑ.. ළමයි හැදුවානම් අපි ඒවා කරන්න ඕනි, ඒත් අඩුගානෙ යන්න කලින් ඕකි මට කියලවත් ගියානම්"

පුබුදුනීගේ නික්මයාම ගුණේ අයියා මට දැනුම් දුන්නේ එසේය...

"මම කතුරෙන් කොණ්ඩෙ කපන මිනිහ, මට මැෂින්වලින් කරන වැඩේ හරියන්නෙ නෑ.. අපි අතින් කොණ්ඩෙ හරියට කැපෙන්න නම් අපි කොණ්ඩෙත් එක්ක ඒ පැය බාගෙ ජීවත් වෙන්න ඕනි, මැෂින් එකේ ඒ ගතිය නෑ.. ඒත් මම ඕකිව බියුටි කල්චර් කරන්න යැව්වා ආසයි කියපු හින්ද.. ඒකිගේ වැඩ හොඳයි, ගිය තැනක බියුටි සෙන්ටර් එකක් දාගෙන ඇති..."
‍"එහෙනම් පුබුදුනීත් ගුණේ අයියගෙ පින්තූරෙ බියුටි සෙන්ටර් එකේ ගහලා ඇති"
මම ගුණේ අයියව සන්සුන් කරන අදහසින් පැවසුවෙමි..

"බිත්තියෙ ගහන්න කොහෙද මහත්තයො ඕකි ලඟ මගේ පින්තූර.. ඕකි එවෙලෙ ඇඳන් හිටපු ඇඳුම ඇරෙන්න එක නූල් පොටක් අරන් ගිහින් නෑ.. ජංගියෙ ඉඳන් ඒකිගෙ බඩු ගෙදර තියෙනවා. මම ඒ ටික අරන් තිබ්බා ආයි ඕකි එයි මහත්තයො මට ඒක විස්වාසයි"

ගුණේ අයියාට පිලිතුරු දීමට තරම් ජීවන අත්දැකීම් හෝ අවබෝධයක් මට නොතිබුන නිසා මම තවදුරටත් නිහඬව සිටීමට තීරණය කලෙමි...

ගුණේ අයියා මගේ හිස් මුදුනට බේරම් හලනවිට පුබුදුනීගේ තාත්තා විසින් මම ජීවිතේට දැකලා නොතිබුන පුබුදුනී ගැන ඔහුගේ හිතේ තිබුන ඔක්කොම කියලා ඉවර කරලා.. මසාජ් එක අතරතුර ගුණේ අයියා ගොළුවුනේ කියන්නට දෙයක් නැති නිසාද නැත්නම් දුක හිතුන හින්දද කියලා මට වැටහුනේ නැත්තෙ මම ඒක ගැන තේරුම් ගන්න උත්සාහ නොකරපු හින්ද වෙන්න ඇති.

"මම ඡන්දෙ ඉල්ලපු විජයට ආදරේ කරපු ඡන්දෙ ඉල්ලන මාලනීට බනින මිනි‍හෙක්, ඒත් මේක නම් මට දරාගන්න ටිකක් අමාරුයි මහත්තයො"
ගුණේ අයියා කියපු ඒ කතාවත් මට හරියටම තේරුණේ නැත.. මම පර්ස් එකෙන් රුපියල් අසූවක් ඇද ගුණේ අයියාට දී එලියට බැස්සෙමි..
         මම මද දුරක් ඇවිද ගොස් නැවත හැරී බැලුවෙමි.. 
              "පුබුදුනී සැළුන්"
                     මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි....

26 අදහස්:

LishWish said...

වදිනවා හිතට කියන්නේ උපරිමේට ම. හැම තාත්තා කෙනෙක් ම ඔහොම වෙන්න ඇති. එක තේරුම් ගන්න බැරිකම ට කියන්නේ වෙන මොකවත් නෙවී. අපේ තියෙන කරුමක්කාර කම.

ආගන්තුකයා said...

අනිවා මචං මේක දැනෙන්න ඉතිං තාත්තා කෙනෙක්ම වෙන්න ඕනි....

Raven said...

හිතට වැදුනා මේ සිදුවීම. තාත්තලා ආදරේ කරන්නෙ සද්ද නැතිව, පිටතට පෙන්නන්නෙ නැතිව.

sansarasidu said...

මං නම් මේ ඉසව්වට ආගන්තුකයෙක්... සයිබර් අවකාශයේ සැරිසරන්න ගත්තෙත් බොහොම මෑතක ඉඳන්. ‍ඒත් ඒ ආගනතුක කම පැත්තකට දාලා ආගන්තුකයට වචනයක් කියල යන්න හිතුනා.

හරිම අපූරුයි මචං.. උඹ තාත්තා කෙනෙකුගේ ආදරයෙ තරම අපූරුවට ගෙත්තම් කරල තියෙනව...
Raven කිව්වා හරි... තාත්තල ආදරේ කරන්නෙ සද්ද නැතුව...
ඒත් ඒක නිසාම ළමයින්ට ඒක දැනෙන්නෙ නැති වෙන්නත් පුළුවන්....
තාත්තලත් ඒ ගැන පොඩිත්තක් හිතනව නම් හොඳයි කියන එකයි මගේ නම් හැඟීම

Anonymous said...

පුබුදුනී දැන් චූටි කෙලි පැටියෙක්ගෙ අම්ම කෙනෙක්. එයට දැන් තාත්තගෙ වටිනකම ගොඩක් හොදට තෙරෙනවා.එයා ඇස්වල කදුලු පුරවන්, කිරි හිනා පුරවගෙන ඉන්න කෙලි පැටියා දිහා බලන් "මගෙ රත්තරන් තාත්තා මම නිසා කොච්චර දුක් වෙනව ඇතිද? "කියල හිතන වාර අනන්තයි.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මේක කියෙව්වහම මට සුනිල් එදිරිසිංහ ගායනා කරන රත්න ශ්‍රී විජේසිංහගේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ කියන සිංදුව මතක් උනා.

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ලමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..

කතන්දර කාරයා said...

අවංකවම මෙය මා කියවූ හොඳම කෙටි කතා අතලොස්සෙන් එකකි. එළ x 10**23
- කතන්දරකාරයා

පිස්සා පලාමල්ල said...

තාත්ත කෙනෙක් ගෙ ආදරය වචන වලින් කියන්න බැහ. ලමයි ඒක තෙරුම් නොගන්නේ උන්ගෙ කාලකන්නි කමට. බොහොම ලස්සන කතාවක්.

මනුසත් said...

මේ මගේ දෑසේ කඳුලු පුබුදිනීගේ තාත්තා වෙනුවෙන් පමනක් නොවේ පුබුදිනී වෙනුවෙනුත්ය.
අපූරුයි. සංවේදීයි.

malee_msg said...

නියමයි ආගන්තුකයෝ... මේක කියෙව්වම මට හිතුනේ ආයමත් තාත්තා ළගට ගිහින් එන්න.. කොහොමත් දුවලට අම්මටත් වඩා ආදරේ කරන්නේ තාත්තලා...

මුචලින්ද said...
This comment has been removed by the author.
හෂිත said...

පට්ට... එල... සිරා... මරු.. ආෂික්.. කියල වැඩක් නෑ....

ආගන්තුකයා said...

ස්තූතිය හැමෝටම. තාත්තලාගෙ ආදරය ‍හංගගෙන ඉන්නෙ ඇයි. මම නම් කියන්නෙ තාත්තා කෙනෙක් වුනාම ආදරය හංගගෙන ඉන්න ඕනි නෑ...

Koombiya said...

WISHISHTAYI!

Koombiya said...

http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=KATH&ArtID=331

ආගන්තුකයා said...

කූඹියෝ දැනුයි දැක්කෙ මචං ස්තූතිය..

Jagath said...

අපි හැමදෙනාටම පොදු තාත්තාගේ කතාවයි මේ.
අන්තර්ගතය සේම ඉදිරිපත්කිරීමේ විලාසයත් අගෙයි..
මම මේ කතාව ඉතාම ඉහළින් අගය කරනවා..


ජගත් ජේ එදිරිසිංහ

- නිල් අහස - said...

මුලින්ම කියන්න ඕන.. මට සමාවෙන්න කියලා.. මෙච්චර දවසක් ආගන්තුක ඉසව්වට ‍එන්න බැරි උනාට.

මම බ්ලොග් ලෝකයට අලුත් කෙනෙක්. මගේ මුල්ම බ්ලොග් එකට ඔයා කමෙන්ට්ස් දාන්න ඇවිල්ලා තිබුනා.. එදා මට ලොකු සතුටක් දැනුනා. ඒත්, ඔයාව හොයාගෙන එන විදිය මම දැනගෙන හිටියෙ නෑ. තාමත් මම මේකෙ, සමහර දේවල් අත පත ගාලා හොයාගෙන යන්නේ. ඒකයි මෙච්චර දවසක්, එන්න ප්‍රමාද උනේ.

අපේ හිතට දැනෙන සිදුවීම්, නිරන්තරයෙන්ම අප අවට ඕනෑ තරම් දකින්න තියෙනවා. ඒත් එවැනි සිදුවීමක පවතින සංවේදීතාවය, ඒ අයුරින්ම අකුරු කරන්න හරිම අපහසුයි.. ඒ හැකියාව වාසනාවන්ත ලෙස පිහිටපු කෙනෙක් ඔබ... යාළුවා.

ඔබේ ඉසව්වට පැමිණීමට හැකිවීම භාග්‍යයක් කොට සලකමි.

Malshi said...

wow! its really nice :)

RanDil said...

ඇත්ත බොහොමයක් තාත්තලා දරුවන්ට හිතේ තියෙන ආදරේ පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැති දෙයක් වටහා ගන්න තරම් බුද්ධිය මෝරලා නැති නිසයි දරුවෝ බොහෝ විට වැරදි වැඩ කරන්නේ. ඉතිං දෙයියනේ කියලා අර දුකා අයියාගේ අක්කගේ මහත්තයා වගේ හිතේ තියෙන ආදරය සෙනෙහස දෝරේ ගලා යන හැටි දරුවන්ට පෙන්නුවම ඉවරයිනේ. එතකොට දරුවන්ට වුනත් වැරදි හෝ නිවැරදි වැඩක් කරන්න යද්දී තාත්තා අම්මා සිහි වෙනවා. වැරැද්දක් නම් කරන්න ලෝභ කමක් බැරි කමක් ඇති වෙනවා නොඅනුමානයි.

මම මගේ දූගේ තාත්තාට කියලා තියෙන්නේ ගහන්න බනින්න ඕනෑම වන අවස්ථාවක් ආවොත් ඒක මං කරන්නම් ඔයා මටත් වඩා දරුවාට ආදරේ පෙන්වන්න කියලා. මොකද මම දන්නවා ගැහැණු දරුවෙක්ට තාත්තාගේ ආදරේ මොන තරම් වටිනවාද කියලා.

ආගන්තුකයා said...

එකඟයි. හැමෝටම පිලිතුර විදිහට ආත්මාර්ථකාමී වචනයක් කියන්නම්.. ස්තූතියි....!

අෂාන් රවීන් said...

වචනයෙන් කිව්වොත් ...... නිමක් නැතිවෙන නිසා, අටුවා ටීකා මු‍කුත් නැති අර්ථයට ගරුකරන උඹ ලියපු මේ ලිපිය, පරිස්සම් කරලා තියාගන්න. මචං දරුදුක විස්තර කිරිමට මට නොහැක, ඒත් උඹ ඒක අපුරුවට කලා විශිෂ්ටයි!....

දුකා said...

මේක කියවනකොට එක තැනක දී වත් මට බොහොතකට වත් හිතුනේ නෑ ප්‍රභන්දයක් කියලා නම් . . .

මේක ප්‍රභන්දයක් නම් උඹ ඊලඟ "කරුණාසේන ජයලත්" වීමේ පලමු සුදුස්සා . . .

ඇත්තම කතාවක් නම් ගුනේ අයියාගේ පුබුදිනී නික්ම යාමෙන් හටගත් දුක හා බැඳුනු උපේක්ෂාව අපේ හිත වල ගැඹුරුම තැනක තැන්පත් කරන්න තරම් දක්ෂයෙක් වූ උඹ අර මම කියපු තනතුරට ඉතාම සුදුස්සෙක් . .

උඹට ජය

ආගන්තුකයා said...

ස්තූතියි දුකා අයියේ... කතාවට ‍හේතුව නම් අපේ අම්මා කියපු කතාවක් සැලුන් එකේ ............ ගෙ දුව පැනලා ගිහින් කියලා කියපු කතාව.. ඉතුරු ටික මගේ ඔළුව ඇතුලෙ හැදිච්ච වල් පල් ටිකක්.

Ansh Lucky Sri Jay said...

හරිම ලස්සන නිර්මාණයක්..

here_i'm said...

යහලු මම මේ අඩවියට ආගන්තුකයෙක්...මට නම් මේකෙ කිසිම තැනක උඹ කතාවක් ගොතපු බවක් දැනුනේ නෑ....නියමෙට ලියලා තියනවා...තාත්තලා ගැන අපිට උනත් හරියට දැනෙන්නේ අපිත් තාත්තා කෙනෙක් උන දවසට...ජය