3.24.2010

ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මිරිඟුවක්වත් නැති කතරක 
වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක...

අඳ ගොළු බිහිරි ,
නැට්ටෙන් කණපිට ගැහුණු ,
කවන්ධයක් තුල...

විසාලා මහනුවර ,
පිපාසාවෙන් මියයන...

අනෝරා වැසි ඇදවැටී ,
ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,
කලාකරුවන්, පාදඩයින්,
දියපහරින් වැසිකිලි වලට සේදී යන...

මදුරුවොත් ඇවිදින්,
නක්කලේ දාලා යන,
ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

3.14.2010

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි.
සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.
 "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.
   ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි...
"ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො"

"මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ"
"මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ"
ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්සකම නිසා වෙන්න ඇති.

"මම ඕකි යනවා කියලා දන්නෙත් නෑ අඩුගානේ ඕකිට මට කියන්න තිබුනා, මාත් තාත්තා කෙනෙක්නෙ මහත්තයො මට උන්ට කන්න අඳින්න දුන්න එව්වා අගේ කොරන්න බෑ.. ළමයි හැදුවානම් අපි ඒවා කරන්න ඕනි, ඒත් අඩුගානෙ යන්න කලින් ඕකි මට කියලවත් ගියානම්"

පුබුදුනීගේ නික්මයාම ගුණේ අයියා මට දැනුම් දුන්නේ එසේය...

"මම කතුරෙන් කොණ්ඩෙ කපන මිනිහ, මට මැෂින්වලින් කරන වැඩේ හරියන්නෙ නෑ.. අපි අතින් කොණ්ඩෙ හරියට කැපෙන්න නම් අපි කොණ්ඩෙත් එක්ක ඒ පැය බාගෙ ජීවත් වෙන්න ඕනි, මැෂින් එකේ ඒ ගතිය නෑ.. ඒත් මම ඕකිව බියුටි කල්චර් කරන්න යැව්වා ආසයි කියපු හින්ද.. ඒකිගේ වැඩ හොඳයි, ගිය තැනක බියුටි සෙන්ටර් එකක් දාගෙන ඇති..."
‍"එහෙනම් පුබුදුනීත් ගුණේ අයියගෙ පින්තූරෙ බියුටි සෙන්ටර් එකේ ගහලා ඇති"
මම ගුණේ අයියව සන්සුන් කරන අදහසින් පැවසුවෙමි..

"බිත්තියෙ ගහන්න කොහෙද මහත්තයො ඕකි ලඟ මගේ පින්තූර.. ඕකි එවෙලෙ ඇඳන් හිටපු ඇඳුම ඇරෙන්න එක නූල් පොටක් අරන් ගිහින් නෑ.. ජංගියෙ ඉඳන් ඒකිගෙ බඩු ගෙදර තියෙනවා. මම ඒ ටික අරන් තිබ්බා ආයි ඕකි එයි මහත්තයො මට ඒක විස්වාසයි"

ගුණේ අයියාට පිලිතුරු දීමට තරම් ජීවන අත්දැකීම් හෝ අවබෝධයක් මට නොතිබුන නිසා මම තවදුරටත් නිහඬව සිටීමට තීරණය කලෙමි...

ගුණේ අයියා මගේ හිස් මුදුනට බේරම් හලනවිට පුබුදුනීගේ තාත්තා විසින් මම ජීවිතේට දැකලා නොතිබුන පුබුදුනී ගැන ඔහුගේ හිතේ තිබුන ඔක්කොම කියලා ඉවර කරලා.. මසාජ් එක අතරතුර ගුණේ අයියා ගොළුවුනේ කියන්නට දෙයක් නැති නිසාද නැත්නම් දුක හිතුන හින්දද කියලා මට වැටහුනේ නැත්තෙ මම ඒක ගැන තේරුම් ගන්න උත්සාහ නොකරපු හින්ද වෙන්න ඇති.

"මම ඡන්දෙ ඉල්ලපු විජයට ආදරේ කරපු ඡන්දෙ ඉල්ලන මාලනීට බනින මිනි‍හෙක්, ඒත් මේක නම් මට දරාගන්න ටිකක් අමාරුයි මහත්තයො"
ගුණේ අයියා කියපු ඒ කතාවත් මට හරියටම තේරුණේ නැත.. මම පර්ස් එකෙන් රුපියල් අසූවක් ඇද ගුණේ අයියාට දී එලියට බැස්සෙමි..
         මම මද දුරක් ඇවිද ගොස් නැවත හැරී බැලුවෙමි.. 
              "පුබුදුනී සැළුන්"
                     මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි....