7.04.2011

“මහත්තයා අර ජිනේ මැරිලා“ 
හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි
“ මොනවා...! වෙන්න බෑ “ 
මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති
“ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “
මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ..
“ ජිනේ “
තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..
                ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා. හමීඩ් නම් කිව්වෙ ඒවා ජිනේ වරායෙන් පන්නන ඒවා කියලා ඒත් ඒක ඇත්තද බොරුද බලන්න කවදාවත් ඒ ප්‍රශ්නෙ මට ජිනේගෙන් අහන්න බැරිවුනා.
“ අල ගෝනි කරනවා.. චන්ඩියා මෙල්ල කරනවා “
ජිනේ කෑමොර දෙනවා. මට ඈතින් දකිද්දි පොඩි කුතුහලයක් දැනුනත් ලඟට ගියාම ජිනේ විකුනන දේවල් දැක්කාම කටට ආපු හිනාව තදකරගත්තේ තාත්තා හිටපු නිසා. තාත්තට ගානක්වත් නෑ..
එදා ඉඳන් දවස් පහ හයක් ජිනේ හම්බ වුනත් මට ජිනේ එක්ක කතාකරන්න වුනේ දවස් දෙකයි..
පලවෙනි දවසේ ජිනේ කලින්ම වෙලඳාම අහවර කර තිබුනා.
“ යමු මහත්තයා දුමක් දාන්න.. මහත්තයා සිගරට් බොනවා නේද? “
මම ඔළුව වැනුවා. විශ්වවිද්‍යාලයේ පලවෙනි වසරේ හිටපු මට වඩා අවුරුදු විස්සකට විතර වැඩිමල් ජිනේ එක්ක දුමක් දැමීම වෙනම ආතල් එකක් වුනා.
“ මහත්තයාලා උගත්තු අපි නූගත්තු. මහත්තයලා ඉගෙන ගනී හම්බකරයි. ඒත් අන්තිමට මහත්තයාලත් මැරෙනවා අපිත් මැරෙනවා. අපි හැමෝම මැරෙන මිනිස්සු “
ජිනේ අයියා එහෙම කිව්වෙ හෙන ආඩම්බරයකින් වෙන්න ඕනි.
“ මගේ ලොට් එක හැමදාම ඉවර වෙනවා. හම්බවෙන ටිකක් කන්නයි හවසට බාගයක් ගහන්නයි ඇති. ඉතුරු ටිකෙන් හෙට ලොට් එක ගන්නවා. මේක තමා මගේ ගෙදර. “
තුන්වෙනි හරස්වීදියේ කරෝල කඩේ ඉස්සරහා පෙට්ටි කඩේ අසෝකා වීදුරුවට දාපු මල්ප්ලේන්ටිය එක අතකිනුත් සිගරට් එක තව අතකිනුත් අල්ලගෙන දෑත් දෙපැත්තට දිගුකරපු ජිනේ දැකපු මට හිතුනේ රැවුල කපපු ජේසු තුමාත් මේ වගේ වෙන්න ඇති කියලා. මම නිහඬවම සිගරට් එක ඉවරකරලා ජිනේගෙන් සමුගත්තේ හමීඩ්ගේ කඩේටත් යන්න උවමනාව තිබුන නිසා.
“ දැන් මට හම්බකරපු දේවල් වලින් කරපු තව වැඩක් තියෙනවා. ඉගෙන ගන්න කොල්ලෙකුට ප්ලේන්ටියයි සිගරට් එකකුයි අරන් දුන්නා කියන එක. “
ජිනේ සිනාසෙමින් කීවේය. මම මද සිනාවක් පා ජිනේගෙන් සමුගතිමි.
                ඉන්පසු මට දවස් දෙක තුනක් ජිනේ හමුවුවත් මම සිටියේ ඇයත් සමග නිසා ජිනේට සිනාවකින් සංග්‍රහ කර රෙදි යාර තිහ පමණක් රැගෙන යන්නට සිදුවිය..
“ වැල වරකා කරනවා.. යක්කු දමනය කරනවා.. “
ජිනේගේ හඬ හැමදාම මෙන් එදත් ඇසුනි..
“ චික් බලන්නකෝ අර මනුස්සයා කියන කතා.. ලැජ්ජාවේ බෑ.. “
ඇය එසේ කිව්වා මට මතකය. මම මද සිනාවක් දමා කතාව මගහැර දැමීය..
අවසාන හමුවද ප්‍රථම හමුවට සමානය. වෙනස ජිනේ අළුත් වෙලඳ භාන්ඩයක් කරත්තයට එකතු කර තිබීමය..
“ උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්... “ 
ජිනේගේ කරත්තය ලඟින් එදාත් හිරිඔතප් සහිත ගැහැනුන් ගියේ ලේන්සුවකින් මුහුණ වසාගෙනය. ඒ කරත්තය ලඟින් ගිය කොල්ලෙකු ගිය ගමන් සිය මිතුරන් සමග ජිනේගේ මාකටිං එක බෙදාහදාගත්තේ නැතිනම් එය පුදුමයකි..
“ මහත්තයා රෙදි ඕඩරේ හරි. “
කල්පනා ලෝකෙන් මිදුනු මම හමීඩ්ගේ කඩෙන් එලියට බැස්සෙමි. අද ජිනේගේ කරත්තය නැත. සිගරට් දෙකකට පමණක් සීමාවූ ආශ්‍රයක් වුවත් සැබවින්ම ජිනේ මගේ ලෝකයේ වීරයෙකු වී සිටියේය ඒ ඇයිදැයි මම තවමත් නොදනිමි.. තවමත් ඒ හඬ මගේ දෙසවන රැව්දෙයි..
උක්කුං පටි බෝල බැලන්ස් පුක් පේපර්.. පුක් පේපර්.. පුක් පේපර්..  “